සිඩ්නි කාල්ටන් දුම්රිය ස්ථානයේදී තම දියණියන් දෙදෙනා දුම්රියක ගැටීමෙන් බේරා ගැනීමට උත්සාහ කළ පියෙකු එක් දියණියක සමග මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය තවත් තොරතුරු හෙළිකර තිබෙනවා.
ඊයේ දහවල් තම බිරිඳ සහ කුඩා දැරියන් දෙදෙනා සමග දුම්රිය ස්ථානයේ සිටියදී දැරියන් රැගෙන ගිය ප්‍රෑම් එකක් දුම්රිය මාර්ගයට පෙරළි යාමෙනුයි අනතුර සිදු වී තිබුණේ.
එම අවස්ථාවේ 40 හැවිරිදි පියා දුම්රිය මාර්ගයට පැන තම දියණියන් බේරා ගැනීමට උත්සාහ කිරීමේදී අසල සිටි මගීන් දුම්රිය නතර කර ගැනීමට උත්සාහ කළ ද ඒ සඳහා ප්‍රමාණවත් වේලාවක් තිබී නොමැති බව සඳහන්.
එහිදී එම පියා සහ කුඩා දියණියක දුම්රියේ ගැටීමෙන් ජීවිතක්ෂයට පත් වුණා.
නිව් සවුත්වේල්ස් පොලිස් අධිකාරී පෝල් ඩන්ස්ටන් පැවසුවේ මෙම යුවළ විදුලි සෝපානයෙන් දුම්රිය ස්ථානයට පැමිණි අවස්ථාවේ සුලු මොහොතකට ප්‍රෑම් එකෙන් අත් ඉවත් කර ගැනීමත් සමග එය දුම්රිය මාර්ගයට පෙරලී ඇති බවයි.
එම ස්ථානයට පැමිණි හදිසි සේවා කණ්ඩායම් අනතුරක් නොමැතිව හඩමින් සිටි අනෙක් දැරිය බේරාගෙන මවට භාරදී තිබෙනවා.
Sydney Trains හි ප්‍රධාන විධායකවරයා අවධාරණය කළේ මෙම සිදුවීම සම්බන්ධයෙන් පූර්ණ පරීක්ෂණයක් සිදු කිරීම සඳහා අදාළ සියලු තොරතුරු පොලිසියට ලබා දෙන බවයි.
මේ අතර මෙම සිදුවීම භයානක මෙන්ම බිහිසුණු ඛේදවාචකයක් ලෙස නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත අගමැති ක්‍රිස් මින්ස් ප්‍රකාශ කර ඇති අතර මියගිය පියාගේ අසාමාන්‍ය නිර්භීත ක්‍රියාව ද ඔහුගේ ඇගයීමට ලක්ව තිබෙනවා.
මෙම අනතුරින් පසු ඊයේ අදාළ දුම්රිය මාර්ගයේ ධාවනයට ද පැය තුනක පමණ කාලයක් බාධා මතුව තිබුණා.