සතියක පමණ කාලයක් තුළ දෙවන වරටත් විෂ රසායනික සහිත කම්හලක් ගිනි ගැනීමෙන් පසු මෙල්බර්න් බටහිර ප්‍රදේශයේ පදිංචිකරුවන් තම ආරක්ෂාව සම්බන්ධයෙන් පියවර ගන්නා ලෙසට රජයෙන් ඉල්ලීම් කර තිබෙනවා.
අද උදෑසන Deer Park ප්‍රදේශයේ ප්ලාස්ටික් නිෂ්පාදන ආයතනයක ඇති වූ ගින්න නිවා දැමීමට ගිනි නිවන භටයින් 80ක් පමණ අවශ්‍ය වූ බවයි සඳහන් වන්නේ.
කෙසේවෙතත් ගිනි නිවීම් නිලධාරීන් පපැමිණෙන අවස්ථාව වන විට ප්ලාස්ටික් පැලට් නිෂ්පාදනය කරන කර්මාන්තශාලාව සම්පූර්ණයෙන්ම පාහේ ගිනිගෙන තිබූ අතර එහි සිටි පස් දෙනෙකු ආරක්ෂිතව ඉවත් කර තිබෙනවා.
පෙරවරු 9.20 පමණ වන විට ගින්න පාලනය කිරීමට හැකි වුව ද කර්මාන්තශාලාවෙන් තවදුරටත් කළු දුමාරයක් පිටවෙමින් පවතින බව සඳහන්.
වික්ටෝරියා හදිසි සේවා ආයතනය විසින් ඩියර් පාර්ක්, ඩෙරිමට්, සහ සන්ෂයින් වෙස්ට් ප්‍රදේශවල පදිංචිකරුවන්ට මේ සම්බන්ධයෙන් අවධානයෙන් පසුවන ලෙසට දැනුම් දී ඇති බවයි වාර්තා වන්නේ.
ගින්නට හේතුව කුමක්ද යන්න මෙතෙක් අනාවරණය වී නොමැති අතර ඒ පිළිබඳව වික්ටෝරියා පොලිසිය පරීක්ෂණ සිදු කරනවා.
මෙල්බන් ඩෙරිමට් ප්‍රදේශයේ රසායනික ද්‍රව්‍ය කම්හලක ගින්නක් හේතුවෙන් අහිතකර රසායනික සහිත දුමක් පැතිර ගොස් සතියකට පමණ පසුවයි මෙම ගින්න වාර්තා වී ඇත්තේ.
එම ගින්න හේතුවෙන් අපවිත්‍ර වූ මෙල්බන් අවට ජල පෝශක කලාප පවිත්‍ර කිරීම තවදුරටත් සිදු කරමින් පවතිනවා.
ගින්න මැඩ පවත්වා තිබුණද අහිතකර රසායනික ද්‍රව්‍ය තවදුරටත් පරිසරයට නිරාවරණය වී ඇති බවටයි හඳුනාගෙන ඇත්තේ.
ප්‍රදේශ රැසක ජලය සමඟ සම්බන්ධ වීමෙන් වළකින ලෙස මහජනතාවට උපදෙස් දීම සඳහා සංඥා පුවරු ද සවි කර තිබෙනවා.
විශේෂයෙන් ජලයේ මතුපිට රසායනික ද්‍රව්‍ය තැන්පත් වන අතර ප්‍රදේශයේ ජලයේ ගුණාත්මකභාවය නිරීක්ෂණය කිරීම සඳහා පරිසර ආරක්ෂණ අධිකාරිය ද ක්‍රියාත්මක වෙමින් ඇති බව සඳහන්.
මෙම සිද්ධියෙන් පසුව මෙල්බර්න් පරිසර ආරක්ෂණ අධිකාරිය විසින් කරන ලද පරීක්‍ෂණවලින් හෙළිවී ඇත්තේ මෙම ගින්න හෝ රසායනික ද්‍රව්‍ය කාන්දුවෙන් වනජීවීන්ට බලපෑම් කිසිවක් නොමැති බවයි.
ගින්න හටගත් දින සිට ජලය ලීටර් මිලියන තුනක් පමණ ඉවත් කරමින් අදාළ ජල පෝෂක පිරිසිදු කළ බවයි වාර්තා වන්නේ.