ශ්‍රී ලංකික ගායන ශිල්පිණියක් මෙන්ම රංගන ශිල්පිණියක් වන වෛද්‍ය කාංචනමාලා රණසිංහ ගායනා කළ ගීතයක් ජාත්‍යන්තර සම්මාන උළෙලක අවසන් වටය සඳහා තෝරාගෙන තිබෙනවා.
ඇය ගායනා කළ ‘‘පතිනියක වී’’ ගීතය World international Music Awards උළෙලේ ආසියානු සම්භාව්‍ය අංශයෙන් අවසන් වටයට තේරී ඇති බවයි වාර්තා වන්නේ.
මෙම සම්මාන උළෙල තුළ අවසන් වටයකට ශ්‍රී ලාංකීය ගීතයක් තෝරාගත් ප්‍රථම අවස්ථාව ලෙස මෙය සැලකෙනවා.
එහි ආසියානු සම්භාව්‍ය අංශයෙන් (Asia region Classical) ඉහළම ස්ථානයක් ‘‘පතිනියක වී’’ ගීතය සඳහා හිමි වී තිබීම විශේෂත්වයක්.
තරගාවලියේ ජයග්‍රාහකයන් ලබන අගෝස්තු මස 25 වනදා ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.
World international Music Awards සම්මාන උළෙල මෙවර සංවිධාන කර ඇත්තේ 12 වැනි වරටයි.
ඔස්ට්‍රේලියාවේ පදිංචිව සිටින වෛද්‍ය කාංචනමාලා රණසිංහ ග්‍රිෆිත් විශ්වවිද්‍යාලයේ (Griffith University) වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරියක් ලෙසට සේවයේ නිරත වනවා.
මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ ‘‘සිංහබාහු’’ නාට්‍යයේ රඟපෑ මාලිනී රණසිංහ සහ ටෙරන්ස් රණසිංහ යුවළගේ දියණිය වන වෛද්‍ය කාංචනමාලා ද ‘‘සිංහබාහු’’ නාට්‍යයේ පුෂ්පා දේවිය ලෙස රංගනයෙන් දායක වී තිබෙනවා.
ඇය මේ වන විට ගීත රැසක් ගායනා කර අන්තර්ජාලයට එක්කර ඇති අතර, ‘සඳ පහන් රෑ’ නමින් ඒක පුද්ගල ගී ප්‍රසංගයක් ද 2023 වසරේදී ශ්‍රී ලංකාවේදී පවත්වා තිබුණා.