බදු ප්‍රතිලාභ ලබා ගැනීම වෙනුවෙන් Tax Returns අයදුම්පත් ගොනු කරන ඔස්ට්‍රේලියානුවන් සඳහා උපකාරයක් අවශ්‍ය වන්නේ නම් ඒ වෙනුවෙන් නොමිලේ සහාය ලබාදීමට ඔස්ට්‍රේලියා බදු කාර්යාලය (ATO) සැලසුම් කර තිබෙනවා.
ඔස්ට්‍රේලියානුවන්ට තම බදු ප්‍රතිලාභ වෙනුවෙන් අයදුම්පත් ගොනු කිරීමට ඔක්තෝබර් 31 දක්වා කාලය ඇති බවයි බදු කාර්යාලය දැනුම් දෙන්නේ.
එමෙන්ම ඉක්මනින් ප්‍රතිලාභ ලබා ගැනීම සඳහා Tax Returns ගොනු කරන පුද්ගලයින්ට බැංකුවලින් ලැබෙන පොලී, තම ආදායම හෝ පුද්ගලික සෞඛ්‍ය රක්‍ෂණ විස්තර වැනි අවශ්‍යම තොරතුරු ඇතුළත් කිරීමට බොහෝ විට අමතක වී ඇති බව ද බදු කාර්යාලය අනතුරු අඟවා තිබෙනවා.
වසරකට ඩොලර් 60,000ට වඩා අඩු ආදායමක් උපයන අයෙකුට බදු උපකාරක වැඩසටහනට ප්‍රවේශ විය හැකි අතර Tax Return ප්‍රතිලාභ නොමිලේ ලබා දීමට ස්වේච්ඡා සහායකයෙකුගේ සහාය ලැබෙනු ඇති.
බදු කාර්යාලය සඳහන් කළේ සෑම වසරකම ජූලි මාසයේ සිට ඔක්තෝබර් දක්වා පුහුණුව ලත් ස්වේච්ඡා සේවකයන් අන්තර්ජාලය හරහා Tax Returns ගොනු කිරීමට ජනතාවට උපකාර කරන බවයි.
ඔන්ලයින් මාර්ගයෙන්, දුරකථනයෙන් හෝ රට පුරා පිහිටි මධ්‍යස්ථානවලදී එම ස්වේච්ඡා සේවකයන් සමඟ සාකච්ඡා කර තම ලිපි ගොනු ඉදිරිපත් කිරීමේ හැකියාව පවතිනවා.
ඉංග්‍රීසිවලට අමතරව වෙනත් භාෂා කතා කරන බදු ගෙවන්නන් සඳහා ද මෙමගින් උපකාර පිරිනැමීම විශේෂත්වයක්.
ඔක්තෝබර් අවසානය වන විට තම බදු වාර්තාව ඉදිරිපත් කර නොමැති හෝ බදු නියෝජිතයෙකු සමඟ ලියාපදිංචි වී නොමැති ඕනෑම අයෙකුට ඩොලර් 313ක දඩයකට යටත් වීමට ද සිදු වනු ඇති.