සංඥා පද්ධතියේ දෝෂයක් හේතුවෙන් දුම්රිය සේවා අඩාල වීම හමුවේ සිඩ්නි මගීන් පිරිසකට පැය දෙකක පමණ කාලයක් පොළව අභ්‍යන්තරයේ දුම්රිය තුළ සිරවී සිටීමේ සිදුවීමක් වාර්තා වනවා.
වයඹ මෙට්‍රෝ මාර්ගයේ ධාවනය කෙරෙන දුම්රියක් චෙරිබෲක් සහ එපිං අතර ප්‍රදේශයේදී ඊයේ පෙරවරු 8.15 ට පමණ හදිසියේ නතර වී ඇති බවයි වාර්තා වන්නේ.
එම අවස්ථාවේ දුම්රිය තුළ සිටි සියගණනක් වූ මගීන් බියට පත්ව ඇති අතර වායුසමන යන්ත්‍ර ද ක්‍රියා විරහිත වීම හේතුවෙන් මගීන්ගේ ඝෝෂාකාරී ශබ්දය උමං මාර්ගය පුරා දෝංකාර දෙමින් ඇසුණු බව සඳහන්.
ගුවන් තොටුපළට යමින් සිටි පිරිසකට මෙම දුම්රිය ප්‍රමාදය හේතුවෙන් ගුවන් ගමන ද මඟ හැරී තිබුණා.
සංඥා පද්ධතියේ ඇණහිටීමට හේතුව කුමක්ද යන්න දුම්රිය තාක්ෂණික නිලධාරීන් සොයා බැලීමට කටයුතු කළ ද පෙරවරු 10.30 පමණ වන තෙක් ගැටලුව විසඳීමට හැකිව තිබුණේ නැහැ.
පැය ගණනකට පසුව සංඥා පද්ධතිය යථා තත්වයට පත් කර දුම්රිය එපිං වෙත පැමිණීමෙන් පසු දුම්රිය ස්ථානය වසා දමා මගීන් බස් රථ මගින් පිටත් කර හැරීමටයි පියවර ගැනුණේ.
කෙසේවෙතත් පෙරවරු 11 පමණ වන විට දුම්රිය වේදිකා නැවත විවෘත වූ අතර දුම්රිය සාමාන්‍ය පරිදි ධාවනය ආරම්භ කර තිබෙනවා.
මෙට්‍රෝ ට්‍රේන්ස් බලධාරීන් විසින් මෙම ගැටලුව හේතුවෙන් මගීන්ට සිදු වූ බලපෑම පිළිගනිමින් සිදුවූ ප්‍රමාදයන් සඳහා සමාව ඉල්ලා ඇති බව සඳහන්.