මෙල්බර්න් නගරය සහ අවට ප්‍රදේශයේ නිවාස 100,000කට ආසන්න ප්‍රමාණයක් හිස්ව පවතින බව නව වාර්තාවක් මගින් අනාවරණ වී තිබෙනවා.
නව අධ්‍යයනයකින් හෙළිවී ඇත්තේ හිස්ව පවතින එම නිවාස ලක්ෂයක පමණ ප්‍රමාණය නිවාස නොමැති අයට සහ සමාජ නිවාස වැඩසටහනේ පොරොත්තු ලේඛනයේ සිටින අයට ලබාදීමට ප්‍රමාණවත් වන බවයි.
ස්වාධීන නිරීක්ෂණ ආයතනයක් වන Prosper Australia විසින් ප්‍රකාශයට පත් කරන ලද වාර්තාවට අනුව මෙල්බන් අවට සෑම නිවාස 20කින් එකක පසුගිය වසරේ කිසිවෙකු රැඳී නොසිටි බව හෙළිවී තිබෙනවා.
මෙම සමීක්ෂණය සඳහා අදාළ නිවාසවල ජල භාවිතය සම්බන්ධයෙන් වූ තොරතුරු ලබාගෙන තිබුණා.
පුරප්පාඩුව පවතින නිවාස 97,681කින් නිවාස 27,408ක් පමණ සම්පූර්ණයෙන්ම හිස්ව පැවති අතර තවත් 70,453ක් සුළු වශයෙන් භාවිතා කර තිබෙනවා.
නිවාස පුරප්පාඩු වැඩි වශයෙන් දැක ගැනීමට හැකිවී ඇත්තේ මෙල්බන් නගරයේ වන අතර එම සංඛ්‍යාව 10,000ක් පමණ වනවා.
Burwood, Box Hill, Malvern, Hawthorn සහ Glen Waverley යන ප්‍රදේශ ඉහළම පුරප්පාඩු අනුපාත සහිත තදාසන්න ප්‍රදේශ බව සඳහන්.
විදේශීය සිසුන් සහ කම්කරුවන් කොවිඩ් වසංගතයෙන් පසු ප්‍රාන්තයෙන් පිටවී තම මව් රටවල් බලා යාම මෙම නිවාස පුරප්පාඩුවට හේතුව ලෙසටයි සැලකෙන්නේ.
වාර්තාව පෙන්වා දෙන්නේ මේ වන විට අයදුම්කරුවන් 48,620ක් සමාජ නිවාස පොරොත්තු ලේඛනයේ සිටින අතර ප්‍රාන්තය පුරා සිටින පුද්ගලයින් 30,000ක් නිවසක් නොමැතිව පීඩාවට පත්ව සිටින බවයි.
මෙම හිස්ව පවතින නිවාස සියල්ල කුලියට ලබා දෙන්නේ නම් ප්‍රාන්තයේ කුලී ආදායම සියයට 20කින් පමණ ඉහළ යනු ඇතැයි වාර්තාව මගින් පෙන්වා දී තිබෙනවා.