ලබන ඔක්තෝම්බර් මාසයේ සිට නිකල් කැණීම් මෙහෙයුම් අත්හිටුවන බවට B H P බහුජාතික සමාගම නිවේදනය කිරීම සමග රැකියා දහස් ගණනක් සම්බන්ධයෙන් අවදානමක් මතුවී තිබෙනවා.
ගෝලීය වශයෙන් සිදු කෙරෙන අධික සැපයුම සහ නිකල් සඳහා වන මිල පහත වැටීම හේතුවෙනුයි දැවැන්ත කැණීම් සමාගමක් වන BHP සමාගම මෙලෙස සිය මෙහෙයුම් නතර කිරීමට තීරණය කර ඇත්තේ.
ඔස්ට්‍රේලියානු මූල්‍ය සමාලෝචනයකට අනුව හෙළිවී ඇත්තේ චීනයේ සහයෝගයෙන් ඉන්දුනීසියාවේ සිදු කරනු ලබන නිකල් කැණීම හේතුවෙන් ගෝලීය නිකල් වෙළඳපොලට අධික සැපයුමක් සිදු වන බවටයි.
ගෝලීය වශයෙන් නිකල් අධික ලෙස සැපයීම හේතුවෙන් ඇති වන සැලකිය යුතු ආර්ථික අභියෝග ජය ගැනීමට තම සමාගමට නොහැකි වී ඇති බවයි BHP සමාගමේ සභාපති ජෙරල්ඩින් ස්ලැටරි පැවසුවේ.
ඔවුන් සිය නිකල් මෙහෙයුම් නැවත ආරම්භ කිරීමට බලාපොරොත්තු වන අතර 2027 වසරේ පෙබරවාරි මාසයේදී ඒ සම්බන්ධයෙන් සමාලෝචනය කරනු ඇති.
එතෙක් සමාගමේ 3000ක් පමණ වන සේවක පිරිසට තවදුරටත් රැඳී සිටින්නේ ද යන්න හෝ රැකියාවෙන් ඉවත් වන්නේ ද යන්න තීරණය කිරීමට අවස්ථාව ලබාදී තිබෙනවා.
මෙම තාවකාලික තීරණය හේතුවෙන් බලපෑමට ලක් වූවන්ට සහාය වීම සඳහා සමාගම ඩොලර් මිලියන 20ක් ආයෝජනය කිරීමට ද නියමිතයි.
2022 වසරේ සිට සාමාන්‍යයෙන් ටොන් එකක් ඩොලර් 37,000ක් පමණ වූ නිකල් මිල මේ වන විට ටොන් එකක් ඩොලර් 24,763ක් පමණ දක්වා පහත බැස ඇති බවයි වාර්තා වන්නේ.