අඩුම කාලයකින් වැඩිම දුරක් පා ගමනින් යමින් නව ලෝක වාර්තාවක් තැබීමට ශ්රී ලංකා නාවික හමුදාවේ නාවික ඉංජිනේරු ආර්.පී සමන් කුමාර සිරිවර්ධන සමත්වී තිබෙනවා.
ඔහු මෙම වාර්තාව පිහිටුවා ඇත්තේ දින 7යි පැය 11යි විනාඩි17යි තත්පර 14ක කාලයක් තුළ කිලෝමීටර් 586.1ක් පා ගමනක නිරත වෙමිනුයි.
මීට පෙර මෙම වාර්තාව තබා තිබුණේ යුද හමුදා නිලධාරියෙකු විසින් වන අතර ඔහු දින 10ක් තුළ කිලෝමීටර 586ක් පාගමනේ නිරත වෙමින් එම වාර්තාව පිහිටුවා තිබුණා.
AusLanka Tv වෙත අදහස් දක්වමින් වත්මන් වාර්තාවට හිමිකම් කියන කුමාර සිරිවර්ධන සඳහන් කළේ ලෝක වාර්තා නිර්ණායක යටතේ ශ්රී ලාංකිය විනිසුරුවරුන් 4 දෙනෙකුගේ අධීක්ෂණය යටතේ මෙම වාර්තාව පිහිට වූ බවයි.
අඛණ්ඩව පැය 12ක් පාගමනින් ගමන් කර පසුව විවේකයක් ලබා ගැනීමට අදාළ නිර්දේශ යටතේ අවස්ථාව හිමිවූ අතර සෑම දිනකම උදෑසන 4ට පා ගමන ආරම්භ කර ඇති බව ද සඳහන්.
අව්ව වැස්ස හෝ ස්වභාවික බලපෑම් පැමිණිය ද ඒවා බාධාවක් ලෙස නොසලකා මෙම වාර්තාව නිම කර ඇති අතර ජනවාරි 12වනදා ආරම්භ කළ පා ගමන ජනවාරි 19වනදා අවසන් කර තිබුණා.
මෙම වාර්තාව සෙරන්ඩිබ් ලෝක වාර්තාවක් ලෙස නම් කර ඇති අතර නාවික හමුදාපති වයිස් අද්මිරාල් යූ. වී. එම්. පී. පෙරේරා මහතා ද මෙම වාර්තාව අගයා ප්රශංසා ලිපියක් ලබා දී තිබෙනවා.
කුමාර සිරිවර්ධනගේ මීළඟ අරමුණ වී ඇත්තේ ශ්රී ලංකාව වටා කිලෝමීටර් 2500ක් පාගමනින් යෑම වන අතර ඒ වෙනුවෙන් පුහුණුවීම්වල නිරත වන බවයි AusLanka වෙත අදහස් දක්වමින් ඔහු කියාසිටියේ.