
සිඩ්නි නගරය හා තදාසන්න ප්‍රදේශවල ධාවනය කෙරෙන වාහන සඳහා උපරිම වේග සීමාවක් පැනවීමට නිව් සවුත්වේල්ස් ප්‍රාන්ත ප්‍රවාහන බලධාරීන් පියවර ගෙන තිබෙනවා.
නගරය සහ අවට ප්‍රදේශ තුළ පැයට කිලෝමීටර 40ක වේග සීමාවක් ස්ථාපිත කර ඇති බැවින් රියදුරන්ට තම වාහනවල වේගය අඩු කිරීමට සිදුවනු ඇති බවටයි දැනුම් දෙන්නේ.
දැනට පැයට කිලෝමීටර් 50ක වේග සීමාවක් සහිත Glebe, Forest Lodge, Beaconsfield, Waterloo, Annandale, Redfern, Alexandria, Zetland, සහ Woolloomooloo ප්‍රදේශවල මාර්ග සඳහා මෙම වෙනස්කම් අදාළ වනු ඇති.

නගරාධිපති ක්ලෝවර් මුවර් ප්‍රකාශ කළේ සිඩ්නි නගරයේ මාර්ග පදිකයන්ට මෙන්ම රථ වාහන ධාවනයට හැකි තරම් ආරක්ෂිත බවට පත් කිරීම සෑම අයෙකුගේම වගකීමක් බවයි.
සිඩ්නි පළාත් පාලන බල ප්‍රදේශයේ මාර්ගවලින් හතරෙන් තුනක පමණ මේ වන විටත් පැයට කිලෝමීටර 40ක වේග සීමා ක්‍රියාත්මක වෙමින් පවතිනවා.

ප්‍රවාහන බලධාරීන් සිදු කළ අධ්‍යයනයන් මගින් අනාවරණ වී ඇත්තේ පැයට කිලෝමීටර් 40 වැනි වේගයකින් ධාවනය වන වාහනයක ගැටෙන පුද්ගලයන්ට සිදු වන බරපතල අනතුරු විශාල වශයෙන් අඩු බවයි.
නගර මධ්‍යයේ සහ වෙනත් ජනාකීර්ණ ස්ථානවල වේග සීමාව පැයට කිලෝමීටර 30 දක්වා අඩු කිරීමට කටයුතු කිරීමට ද නිව් සවුත්වේල්ස් ප්‍රවාහන බලධාරීන්ගේ අවධානය යොමුවී තිබෙනවා.
කිලෝමීටර 40ක වේග සීමා වෙනස්වීම් පිළිබඳව රියදුරන් දැනුවත් කිරීම සඳහා ප්‍රධාන ස්ථානවල සති දෙකක කාලයක් සඳහා තාවකාලික විද්‍යුත් සංඥා ස්ථාපිත කිරීමට ද නියමිතයි.