කාබන් මොනොක්සයිඩ් වායුවට නිරාවරණය වීම හේතුවෙන් අසාධ්‍ය වූ ටස්මේනියා ප්‍රාන්තයේ පුද්ගලයන් 4 දෙනෙකු බරපතළ තත්වයෙන් රෝහල් ගත කර තිබෙනවා.
ඊයේ උදෑසන මෙම පිරිස පදිංචිව සිටි නිවසේ දුමක් පවතින බවට අසල්වාසීන් හදිසි ඇමතුම් ඒකකයට ලබාදුන් තොරතුරු අනුවයි විමර්ශන ආරම්භ කෙරුණේ.
ආරෝපණය සඳහා විදුලියට සම්බන්ධ කර තිබූ විදුලි පන්දමක් හේතුවෙන් ගින්න සිදුව ඇති බවට මුලික විමර්ශනවලදී අනාවරණ වී තිබෙනවා.
මෙම ගින්නෙන් ඩොලර් 70,000 ක පමණ අලාභයක් සිදුවී ඇති බවයි සඳහන් වන්නේ.
ගිනි නිවීම් අංශ පෙන්වා දෙන්නේ පසුගිය සති කිහිපය තුළ ඔස්ට්‍රේලියාවේ කාබන් මොනොක්සයිඩ් ආඝ්‍රහණය වීම හේතුවෙන් පුදලයන් අසාධ්‍ය තත්වයට පත්වීමේ සිදුවීම් රැසක් වාර්තා වූ බවයි.
පර්ත් නගරාසන්නයේ නිවසක සිටි කාන්තාවක් උඳුනක අඟුරු හේතුවෙන් ඇති වූ කාබන් මොනොක්සයිඩ් විෂ වීමෙන් තවමත් කෝමා තත්වයේ පසු වනවා.
එමෙන්ම පසුගිය 25 වනදා පර්ත් වෙස්ට්මිනිස්ටර්හිදී ඔවුන්ගේ එකම පවුලේ දරුවන් දෙදෙනෙකු සහ ඔවුන්ගේ දෙමව්පියන් ද නිවසේ සිහිසුන්ව සිටියදී සොයා ගනු ලැබුවා.
බටහිර සිඩ්නිහි නිවසක් උණුසුම් කිරීම සඳහා බාබකියු උඳුනක් භාවිතා කිරීමෙන් ද පුද්ගලයින් සිව් දෙනෙකු පසුගිය සතියේ රෝහල් ගත කර තිබෙනවා.
වෛද්‍යවරුන් පෙන්වා දෙන්නේ කාබන් මොනොක්සයිඩ් විෂ වීම හේතුවෙන් හිසරදය, කරකැවිල්ල, ඔක්කාරය සහ සිහි මද තත්වය වැනි රෝග ලක්ෂණ ක් මතු වන බවයි.
එමගින් සිරුරේ සෛලවලට ඔක්සිජන් මුදා හැරීමේ හැකියාව අඩාල කරන බැවින් එවැනි රෝගියෙකු හැකි ඉක්මනින් හොඳින් වාතාශ්‍රය ඇති තැනකට රැගෙන යා යුතු බවයි වෛද්‍යවරුන් දැනුම් දෙන්නේ.
විෂ වායුවට නිරාවරණය විමෙන් ගතවී ඇත්තේ සුළු කාලයක් පමණක් නම් ඔවුන් ඉක්මනින් සුව වන අතර දරුණු ලෙස විෂ ශරීරගත වී ඇත්නම් හෝ සිහිසුන්ව සිටියහොත් ඔවුන්ගේ ජීවිත පිළිබඳ විශ්වාසයක් තැබිය නොහැකි බව වෛද්‍යවරුන් අවධාරණය කළා.