
වික්ටෝරියා ප්‍රාන්තයේ ප්‍රදේශ රැසක ඊයේ රාත්‍රී අහසේ දක්නට ලැබුණු විශාල ආලෝකයක් පිළිබඳ ප්‍රාන්ත ජනතාව තුල කුතුහලයක් මතුවී ඇතැයි වාර්තා වනවා.
ග්‍රහකයක කොටසක් බවට විශ්වාස කෙරෙන දැවැන්ත ආලෝක කදම්භයක් රාත්‍රී අහස හරහා ගමන් කරන ආකාරයයි දර්ශනය වී ඇත්තේ.
මෙම දර්ශනය සියසින් දැක ගැනීමට හැකි වූ වික්ටෝරියානු වැසියන් බොහෝ පිරිසක් ඒ සම්බන්ධයෙන් තම සමාජ මාධ්‍ය ගිණුම්වල අත්දැකීම සම්බන්ධයෙන් සටහන් තබා තිබෙනවා.

ඇතැම් අය එහි ඡායාරූප ද සමාජ මාධ්‍ය වෙත එක්කර ඇති අතර ඔවුන් සඳහන් කර ඇත්තේ වික්ටෝරියා අහසේ තමන්ට දැක ගැනීමට ලැබුණු ආලෝකය නිල් සහ තැඹිලි පැහැති වලිගයක් වැනි යමක් සහිත විශාල ආලෝකයක් බවයි.
ක්ලේටන් (Clayton), බ්රුන්ස්වික් (Brunswick), Mulgrave, Eltham, Chirnside Park, Donnybrook, Berwick, Keilor, Malvern, Box Hill, Deer Park, Williamstown, Maryborough සහ Ballarat වැනි ප්‍රදේශවල ජනතාවට මෙය දැක ගැනීමට හැකිවී ඇති බව සඳහන්.

ඔස්ට්‍රේලියානු ජාතික විශ්ව විද්‍යාලයේ භෞතික විද්‍යාඥ බ්‍රැඩ් ටකර් පැවසුවේ මෙම ආලෝකය පෘථිවි වායුගෝලයට පැමිණි කැඩී ගිය ග්‍රහක කැබැල්ලක් වන්නට ඇති බවයි.
එහි වේගය හමුවේ වායුගෝලයේ ඇති වන ඝර්ෂණය සමග දිලිසෙන තත්වය නිර්මාණය කෙරෙන අතර එය කිලෝමීටර් සියගණනක් දුර අහස හරහා ගමන් කළ හැකි බව ඔහු පෙන්වා දුන්නා.