අදින් ආරම්භ වන මූල්‍ය වර්ෂයේදී පසුගිය වසරේ ෆෙඩරල් අයවැයෙන් යෝජනා කෙරුණු තීන්දු තීරණ රැසක් ක්‍රියාත්මක වීමට නියමිතව තිබෙනවා.
බදු කප්පාදුව සමග එන ජීවන වියදම් සහන සහ අවම වැටුප් ලබන කම්කරුවන් සඳහා වැටුප් වැඩි කිරීම, බලශක්ති බිල්පත් සහන නව මූල්‍ය වර්ෂයේ බලාත්මක වීමට නියමිත ප්‍රධාන වෙනස්කම් අතරට අයත්.
ඔස්ට්‍රේලියානුවන් බොහෝ පිරිසකට බලපෑම් එල්ල කර ඇති ජීවන වියදම් අර්බුදය සමනය කිරීම සඳහා සැලසුම් කර තිබෙන ක්‍රියාමාර්ග සමග තුන්වන අදියරේ බදු කප්පාදුව ආරම්භ වීම හේතුවෙන් සෑම බදු ගෙවන්නෙකුටම අද සිට තමන් උපයන මුදලින් වැඩි ප්‍රමාණයක් තමා සතුව තබා ගැනීමට හැකි වනවා.
ඇතැම් ආර්ථික විශේෂඥන් අනතුරු අඟවා ඇත්තේ බදු කප්පාදුව හේතුවෙන් උද්ධමනයට බලපෑමක් වන අතර එම තත්වය මත පොලී අනුපාත ඉහළ මට්ටමක තබා ගැනීමට හෝ ඒවා ඉහළ නැංවීමට පවා සංචිත බැංකුව පොළඹවනු ඇති බවටයි.
මේ අනුව ඩොලර් 45,000 හෝ ඊට අඩු ආදායමක් ලබන පුද්ගලයින් සඳහා වන බදු අනුපාතය සියයට 19 සිට සියයට 16 දක්වා පහත වැටීමට නියමිතව තිබෙනවා.
ඩොලර් 135,000 දක්වා උපයන පුද්ගලයින් සඳහා සියයට 32.5 අනුපාතය සියයට 30 දක්වා අඩු කිරීමට නියමිතයි.
එම අගයට වඩා වැඩි වාර්ෂික ආදායමක් ලබන පුද්ගලයින්ට සියයට 37ක බදු අය කෙරෙන අතර ඉහළම බදු සීමාව හඳුන්වා දී තිබූ අදායම් සීමාව ඩොලර් 200,000 සිට ඩොලර් 190,000 දක්වා අඩු කර තිබෙනවා.
සාමාන්‍ය අදායම් ලබන සේවකයෙකුට වසරකට ඩොලර් 1888 ක බදු කප්පාදුවක් හෝ සතියකට ඩොලර් 36ක් වැනි මුදලක සහනයක් ලැබෙනු ඇති.
ඒ අනුව ඔස්ට්‍රේලියානුවන් මිලියන 2.6කට පමණ වැටුප් වැඩිවීමක් ලැබෙන අතර සතියකට අවම වශයෙන් පැය 38ක පූර්ණ කාලීනව වැඩ කරන අයෙකුට එහිදී සතියකට අමතර ඩොලර් 33ක ආදායමක් හිමි වනු ඇති.
ඊට අමතරව අද සිට අවම වැටුප ද පැයකට ඩොලර් 23.23 සිට ඩොලර් 24.10 දක්වා සියයට 3.75කින් ඉහළ යාමට නියමිතව තිබෙනවා.
ක්ෂේත්‍ර රැසක ඉහළ යන මිල ගණන් හමුවේ අර්බුධයකට ලක්ව ඇති ඔස්ට්‍රේලියානු වැඩ කරන ජනතාවට මෙම ජුලි මාසයේ ආරම්භය වසර ගණනාවකට ඉතා හොඳ මාසයක් බවයි සඳහන් වන්නේ.
අද සිට සියලුම පවුල් ඒකකවලට ඩොලර් 300 ක බලශක්ති බිල්පත් සහනයක් ද ලැබෙන අතර එය ඩොලර් 75ක් ලෙස කාර්තු හතරකින් ලැබීමට නියමිතයි.
විශේෂයෙන්ම සුභසාධන දීමනා ලබන්නන් ඇතුලු බොහෝ පිරිසකගේ බලශක්ති බිල්පත් ඉහළ ගොස් ඇති බව සඳහන්.
මීට අමතරව ෆෙඩරල් රජය විසින් දෙමව්පියන් සඳහා වූ නිවාඩු (parental leave) වෙනස් කිරීම් යටතේ සුදුසුකම් ලත් දෙමාපියන්ට අමතර සති දෙකක පොදු අරමුදල් සහිත නිවාඩු ලබා ගැනීමට අවස්ථාව ලැබෙනවා.
ඒ අනුව නිවාඩු ලැබෙන සමස්ත සති ගණන 22 දක්වා ඉහළ යන අතර එය ලබන 2025 සහ 2026 වසරවලදී තවත් සති දෙක බැගින් වැඩි කිරීමට ද නියමිතයි.
මෙවර අයවැයෙන් යෝජිත Superannuation වැඩිවීම යටතේ පූර්ණ කාලීන, අර්ධ කාලීන සහ අනියම් සේවකයන්ගේ ගිණුම්වලට ලැබෙන මුදල ද අද සිට සියයට 11 සිට 11.5 දක්වා ඉහළ යනවා.
ඊට අමතරව පසුගිය සතියේ ෆෙඩරල් පාර්ලිමේන්තුව සම්මත කරන ලද ප්‍රතිසංස්කරණය යටතේ, ඉලෙක්ට්‍රොනික දුම්වැටි ෆාමසිවලින් ලබා ගැනීමට අවස්ථාව ලැබෙනවා.
එමගින් ඇති විය හැකි සෞඛ්‍ය හානි පිළිබඳව පාරිභෝගිකයා දැනුවත් කර ඔවුන් අවුරුදු 18 ට වැඩි බව තහවුරු කළ පසු ඖෂධවේදීන්ට ඒවා විකිණීමට හැකි යි.
මේ අතර ජාතික බ්‍රෝඩ්බෑන්ඩ් ජාලයේ ගාස්තු ඉහල දැමීම් හේතුවෙන් අද සිට අන්තර්ජාල ගාස්තු වෙනසක් ද සිදුවීමට නියමිතව තිබෙනවා.
මේ අතර ඔස්ට්‍රේලියාවේ පුරවැසිභාවය ඉල්ලුම් කිරීම සඳහා වන අයදුම්පත් ගාස්තුව අද සිට ක්‍රියාත්මක වන පරිදි ඉහළ දැමීමට තීරණය කර තිබෙනවා.
සාමාන්‍යයෙන් සෑම වසරකම ජූලි පළමු වනදා සිට වර්තමානයේ පවතින පාරිභෝගික මිල දර්ශකය (CPI) මත පදනම්ව පුරවැසි අයදුම්පත් ගාස්තු වෙනස් කරනු ලබනවා.
පොදුරාජ්‍ය මණ්ඩලීය කුලී ආධාර (Commonwealth Rent Assistance) සියයට 10 කින් ඉහළ යන අතර එය මිලියන 1ක පමණ පවුල් ඒකක ප්‍රමාණයක් සඳහා උපකාර වනු ඇති බවයි රජය පවසන්නේ.
විශ්‍රාම වැටුප් ඇතුළු සුභසාධන ගෙවීම් සඳහා ද සහන ලැබෙන අතර මිලියන 2කට වඩා වැඩි පිරිසකට හිමි වන එම ප්රතිලාභ සම්බන්ධයෙන් සමාජ සේවා දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියෙන් තොරතුරු ලබා ගත හැකියි.
මෙම සහනවලට අමතරව අද සිට ගාස්තු ඉහළ යෑම් කිහිපයක් ද සිදුවීමට නියමිතව තිබෙනවා.
ඔස්ට්‍රේලියාවේ ජාතික බ්‍රෝඩ්බෑන්ඩ් ජාලයේ (NBN) ගාස්තු වෙනස් වීමට නියමිත අතර සාමාන්‍යයෙන් මාසයකට ඩොලර් 2 ශත 22 සහ ඩොලර් 2 ශත 52 අතර මිලකින් ගාස්තු වැඩි වනු ඇති.
තම අන්තර්ජාල සේවා සැපයුම්කරු සහ භාවිත කරන පැකේජයන් අනුව මෙම මිල ගණන් වෙනස් විය හැකියි.
උදාහරණයක් ලෙස Telstra සමාගමේ 25 mbps පැකේජය භාවිතා කරන අයට මාසයකට ඩොලර් 4 කින් සහ එහි 50 mbps පැකේජ භාවිතා කරන අයට ඩොලර් 5 කින් ගාස්තු ඉහළ යනු ඇති.
එහි 1000 mbps පැකේජය සාමාන්‍ය පරිදි ගාස්තු වෙනසකින් තොරව පවතින අතර 250 සහ 1000 mbps පැකේජ පිළිවෙලින් මාසයකට ඩොලර් 5 සහ ඩොලර් 20කින් පහත දැමෙන බව සඳහන්.
මේ අතර මෙම මාසය ආරම්භයේ සිට විදේශ ගමන් බලපත්‍ර ගාස්තු ද ඉහළ යාමට නියමිතව තිබෙනවා.
අවුරුදු 10ක් පැරණි වැඩිහිටි විදේශ ගමන් බලපත්‍රයක් හිමි අයට එය නැවත සකස් කර ගැනීම සඳහා වන මුදල ඩොලර් 346 සිට ඩොලර් 398ක් දක්වා ඉහළ දැමීමට නියමිතව තිබෙනවා.
එමෙන්ම ඩොලර් 100ක අමතර මුදලක් ගෙවීම මගින් වැඩ කරන දින පහක් ඇතුළත නව විදෙස් ගමන් බලපත්‍රයක් ලබා ගැනීමට විශේෂ අවස්ථාවක් ද ලබාදී තිබෙනවා.
මේ අතර නිවාස අර්බුදය වර්තමානයේ ඔස්ට්‍රේලියාව මුහුණ දෙන ප්‍රධානතම අර්බුධවලින් එකක් වන අතර අද සිට එය විසඳීම සඳහා නව වැඩසටහනක් නිල වශයෙන් ආරම්භ වනු ඇති.
ෆෙඩරල් රජයේ ඉලක්කය වී ඇත්තේ 2029 වසරේ ජූනි මාසය අවසන් වන විට නව නිවාස ඒකක මිලියන 1.2ක් ඉදිකිරීමයි.
එහෙත් විචාරකයන් පෙන්වා දෙන්නේ වර්තමානයේ ඔස්ට්‍රේලියාවේ ගොඩනැගිලි අනුමත කිරීම් සහ සම්පූර්ණ කිරීම් සම්බන්ධ අනුමැතිය ප්‍රමාද වීම හමුවේ එම ඉලක්කය සපුරා ගැනීම දුෂ්කර බවයි.
රජයේ ඉලක්කයට යාම සඳහා වසරකට නව නිවාස ඒකක 240,000ක් හෝ මාසයකට නව නිවාස ඒකක 20,000ක් ඉදි කිරීමට අවශ්‍ය වනවා.