
වික්ටෝරියා ප්‍රාන්තයේ ඉදි කෙරෙන කුලී නිවාස සඳහා නව ප්‍රමිතීන් කිහිපයක් හඳුන්වා දීමට පියවර ගෙන තිබෙනවා.
රජය විසින් යෝජනා කර ඇති නව ප්‍රමිතීන් යටතේ කුලියට දීම සඳහා ඉදි කෙරෙන නිවාසවල උණුසුම සහ සිසිල් බවට අදාළ ප්‍රමිතීන් සපුරාලීමට අවශ්‍ය වනු ඇති.
ප්‍රාන්ත රජය නිවේදනය කළේ සිවිලිම ස්ථාපිත කිරීම, වියළි කාලගුණික තත්වයන් හමුවේ ජීවත් වීම පහසු වීම, උණු වතුර ලබා ගැනීමේ පහසුව සහ නිවසේ සිසිල් බව ඇතුළත් ප්‍රමිතීන් පුළුල් කිරීම පිළිබඳ උපදේශන ක්‍රියාවලිය ආරම්භ කරන බවයි.

මෙම ප්‍රමිතීන්ට අනුව නිවාස ඉදි කිරීම තුළින් එහි පදිංචියට එන කුලී නිවැසියන්ට ඔවුන්ගේ බලශක්ති බිල්පත්වලින් වසරකට ඩොලර් 567ක් පමණ ඉතිරි කර ගත හැකි බව බලශක්ති ඇමතිවරිය ප්‍රකාශ කළා.
යෝජිත ප්‍රමිතීන් මත ඉදි කෙරෙන නිවාස කුලියට ගැනීම මගින් බලශක්තිය කාර්යක්ෂම හා ලාභදායී වන අතර බිල්පත් ගාස්තු අඩු කර නිවාස ද දේශගුණයට ඔරොත්තු දෙනු ඇති බවයි ඇය පෙන්වා දුන්නේ.

කුලී නිවාස හිමිකරුවන්ට දැනට සවි කර ඇති උපකරණ ක්‍රියා විරහිත වූ විට බලශක්ති කාර්යක්ෂම විදුලි උපකරණ ස්ථාපිත කිරීමට ද නව නීති අනුව සිදු වනු ඇති.