මුල්‍ය වංචාවන්වලින් වැළකීම සඳහා තම myki කාඩ්පත් ලියාපදිංචි කරන ලෙස පොදු ප්‍රවාහන භාවිත කරන්නන්ගේ සංගමය මගීන්ට උපදෙස් දී තිබෙනවා.
වික්ටෝරියා ප්‍රාන්ත පොදු ප්‍රවාහන බලධාරීන් විසින් තහවුරු කර ඇත්තේ වංචාකරුවන් myki කාඩ්පත්වලින් මුදල් වංචා කිරීමේ සිදුවීම් පිළිබඳ වාර්තා වී ඇති බවයි.
ලියාපදිංචි නොකළ myki කාඩ්පත් මගින් තම බැංකු ගිණුම් වෙත මුදල් හරවා ගැනීමේ ජාවාරමක කිසියම් කණ්ඩායමක් නිරත වන බවටයි තොරතුරු ලැබී ඇත්තේ.
මෙවැනි වංචාවන් වැලැක්වීම සඳහා තම කාඩ්පත් ලියාපදිංචි කරන ලෙසට පොදු ප්‍රවාහනය භාවිත කරන්නන්ගේ සංගමය සියලුම මගීන්ට දැනුම්දී තිබෙනවා.
myki ගෙවීම් පද්ධතිය භාවිතයෙන් පොදු ප්‍රවාහන සේවාවන් ලබා ගන්නා වික්ටෝරියා ප්‍රාන්තයේ පුද්ගලයන් 14 දෙනෙකුගේ පමණ ගිණුම්වලින් වංචාකරුවන් විසින් මුදල් ලබාගෙන ඇති බවටයි තහවුරු වී ඇත්තේ.
පොදු ප්‍රවාහන භාවිතා කරන්නන්ගේ සංගමයේ නියෝජිත ඩැනියෙල් බෝවන් පැවසුවේ මෙම කාඩ්පත් ලියාපදිංචි ක්‍රමවේදයේ පවතින දුර්වලතාවක් ප්‍රයෝජනයට ගෙන වංචාකරුවන් මෙම සොරකමේ නිරත වන බවයි.
මෙම වංචාව හමුවේ දැනට සෑම කාඩ්පතකම මුද්‍රණය කර ඇති ඉලක්කම් 15 කින් යුත් අංකයක් භාවිත කරමින් මාර්ගගතව හෝ දුරකථනය හරහා තම myki කාඩ්පත් ලියාපදිංචි කරන ලෙසට මගීන්ට දැනුම් දී තිබෙනවා.
myki භාවිතා කරන බොහෝ දෙනෙකු ඔවුන්ගේ කාඩ්පත් ලියාපදිංචි නොකරන අතර එය ඔවුන් මෙම වංචාවට ගොදුරු විය හැකි මුලික හේතුවක් බවයි පැවසෙන්නේ.
ලියාපදිංචි නොකළ කාඩ්පත් පිළිබඳ තොරතුරු ලබා ගන්නා වංචාකරුවන් එම කාඩ්පත් තමන්ගේ නමට ලියාපදිංචි කර ආපසු මුදල් ඉල්ලා සිටීම මෙම වංචාව සිදුවන ආකාරය ලෙසට හඳුනාගෙන තිබෙනවා.
මේ වන විට වාර්තා වී ඇත්තේ සිද්ධීන් කිහිපයක් පමණක් වන නමුත් මයිකි කාඩ්පත ලියාපදිංචි කිරීම මගින් වංචාකරුවන්ට ඇති අවස්ථා අවහිර කළ යුතු බව ජනතාවට දැනුම් දෙනවා.
වික්ටෝරියා ප්‍රාන්තයේ පොදු ප්‍රවාහන පරිශීලකයින්ට myki කාඩ්පතක් වෙනුවට ක්‍රෙඩිට් කාඩ්පතක් හෝ දුරකථනයක් භාවිතා කිරීමට ඉඩ දෙන අත්හදා බැලීමක් රජය විසින් වසර තුනකට පෙර ප්‍රතික්ෂේප කිරීම මෙම තත්වයට හේතුව බවට ද චෝදනා එල්ලවී තිබෙනවා.
කෙසේවෙතත් නිවේදනයක් නිකුත් කරමින් රජය කියා සිටියේ අමතර ආරක්ෂණ ක්‍රම ක්‍රියාත්මක කර ඇති අතර බලපෑමට ලක් වූ ඕනෑම myki කාඩ්පත් හිමියෙකුට මුදල් ආපසු ලබා දෙන බවයි.