Search

අද ඇරඹෙන T20 ලෝක කුසලානයේ විශේෂත්වය මෙන්න

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය 9 වැනි වරට සංවිධාන කරන පන්දුවාර 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය අද අමෙරිකාවේදී ආරම්භ වනවා.

මෙවර තරගාවලියේදී අමෙරිකාව සමඟින් බටහිර ඉන්දීය කොදෙව් රාජ්‍ය සම සත්කාරකත්වය දරන අතර කොදෙව් දූපත්වල තරග ආරම්භ වන්නේ හෙට දිනයේදී යි.

ඇමරිකාව සහ කැනඩාව අතර පළමු තරගය අද ආරම්භ වන්නේ අමෙරිකාවේ වේලාවෙන් රාත්‍රී 8.30ටයි.

ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලි ඉතිහාසයේ වැඩිම කණ්ඩායම් සංඛ්‍යාවක් එක්වන තරගාවලිය ද මෙය වන අතර මෙවර තරඟාවලියට කණ්ඩායම් 20ක් එක්ව සිටිනවා.

2022 වසරේ අවසන් වරට පැවති T20 තරගාවලියේදී රටවල් 16ක් එක් වූ අතර 2007 වසරේ පැවති එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා ද කණ්ඩායම් 16ක් එක්ව තිබුණා.

මෙවර මූලික වටයේදී කණ්ඩායම් 20 කාණ්ඩ 4කින් තරග බිමට පිවිසෙන අතර එක් කාණ්ඩයකට කණ්ඩායම් 5ක් ඇතුළත් වනවා.

ඒ අනුව ක්‍රිකට් පිටියේ වැඩිම අවධානයක් යොමුවන තරගය පැවැත්වෙන ඉන්දියාව සහ පාකිස්තානය ‘A’ කාණ්ඩයට ඇතුළත්ව සිටිනවා.

ඔස්ට්‍රේලියාව “B” කාණ්ඩය යටතේ තරගාවලියට ඉදිරිපත් වන අතර ඔවුන් සහභාගී වන පළමු තරගය ලබන 6 වනදා බ්‍රිජ්ටවුන්හිදී පැවැත්වෙන්නේ ඕමාන කණ්ඩායම සමගයි.

ශ්‍රී ලංකාව ‘ඩී’ කාණ්ඩයෙන් තරග බිමට පිවිසෙන අතර ඊට දකුණු අප්‍රිකාව, බංග්ලාදේශය, නෙදර්ලන්තය සහ නේපාලය ඇතුළත්.

තරගාවලිය ක්‍රීඩාංගණ 9කදී පැවැත්වෙන අතර, ඒ කොදෙව්හි ක්‍රීඩාංගණ 6ක් සහ අමෙරිකාවේ ක්‍රීඩාංගණ 3ක් ලෙසින්.

මේ අතරින් අමෙරිකාවේ නිව්යොර්ක් නුවර නසාවු ක්‍රීඩාංගණය විශේෂත්වයක් ගන්නා අතර, එය මේ තරගාවලිය සඳහාම නිර්මාණය කරන ලද එකක් බව සඳහන්.

ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා තරගයෙන් මේ පිටියේ තරග ඇරඹෙන අතර, 34,000ක ප්‍රේක්ෂක සංඛ්‍යාවකට මෙහිදී තරග නැරඹීමේ හැකියාව පවතිනවා.

සත්කාරකත්වය දැරීම හේතුවෙන් තරගාවලියට ඍජුවම එක්වීමේ අවස්ථාව හිමි වූ අමෙරිකා එක්සත් ජනපදය සමඟ කැනඩාව සහ උගන්ඩාව T20 ලෝක කුසලාන තරගාවලියකට එක්වන පළමු අවස්ථාව මෙයයි.

පැපුවා නිව්ගිනි, නේපාලය සහ ඕමානය එක්වන දෙවැනි අවස්ථාව මෙය වන අතර අවසන් වරට පැවති තරගාවලියට එක්වූ එක්සත් අරාබි එමීර් සහ සිම්බාබ්වේ කණ්ඩායම්වලට මෙවර තරගාවලිය අහිමි වුණා.

2022 වසරේ අවසන් වරට පැවති T20 ලෝක කුසලාන තරගාවලියේ ශූරතාව දිනාගත් එංගලන්තය 2010දීත් ශූරතාව දිනාගෙන තිබෙනවා.

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම දෙවරක් (2012 හා 2016) ශූරතාව දිනා ගෙන තිබෙනවා.

2007 වසරේ පැවති පළමු T 20 ලෝක කුසලානයේ ශූරයන් වූ ඉන්දියාව, පාකිස්තානය (2009), ශ්‍රී ලංකාව (2014) සහ ඔස්ට්‍රේලියාව (2021) එක් වරක් බැගින් ජයගෙන තිබෙනවා.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ඉහළ පෙළේ සාමාජික රටවල් අතරින් නවසීලන්තය, දකුණු අප්‍රිකාව, බංග්ලාදේශය සහ ඇෆ්ගනිස්තානය තවමත් ශූරතාවක් දිනා නැහැ.