Search

ප්‍රවීණ සංගීතඥ ෂෙල්ටන් ප්‍රේමරත්න සිඩ්නි නුවරදී අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීණ සංගීතඥයෙකු වූ ෂෙල්ටන් ප්‍රේමරත්න අභාවප්‍රාප්ත වී තිබෙනවා.

1931 වසරේ අප්‍රේල් 29 වන දින කොටහේනේ දී උපත ලද ෂෙල්ටන් ප්‍රේමරත්න අභාවප්‍රාප්ත වනවිට 94 වැනි වියේ පසු වුණා.

තම පුතණුවන් සමග සිඩ්නි නගරයේ පදිංචිව සිටියදී ඔහු මෙලෙස මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

ආචාර්ය ෂෙල්ටන් ප්‍රේමරත්න ශ්‍රී ලංකාවේ ජනප්‍රිය සංගීත නිර්මාණ ශිල්පියෙක්, වාදකයෙක් මෙන්ම සංගීත අධ්‍යක්ෂකවරයෙක් ද වනවා.

සිංහල ගීත වෙනුවෙන් ඉන්දියාවේ හින්දි සහ දෙමළ සංගීතය සෘජුවම අනුකරණය කළ වකවානුවක, ආචාර්ය ප්‍රේමරත්න ශ්‍රී ලංකාවට ආවේණික වූ සංගීත ශෛලියක් වර්ධනය කිරීමේ පුරෝගාමියා ලෙසට සැලකෙනවා.

විවිධ පෙරදිග හා බටහිර වාද්‍ය භාණ්වල ප්‍රවීණයෙකු වූ ආචාර්ය ප්‍රේමරත්න සිංහල සිනමාව, රංග කලාව සහ ශ්‍රී ලාංකේය ශාස්ත්‍රීය සංගීතයට දක්වා ඇති දායකත්වය අති මහත්.

ෂෙල්ටන් ප්‍රේමරත්නයන් සංගීත ක්ෂේත්‍රයට පිවිසෙන්නේ 1952 දී වේදිකාගත කළ ‘හීන කුලය’ නම් නාට්‍ය හරහායි.

ලංකාවේ වැඩිම මුද්‍රා නාට්‍ය ප්‍රමාණයකට සංගීතය සපයා ඇත්තේ ෂෙල්ටන් ප්‍රේමරත්න විසින් වීම විශේෂත්වයක්.

‘හුණු වටයේ කතාව’, ‘කෝන්තරේ’, ‘මන්ත්‍රී හාමුදුරුවෝ’, ‘හොටබරි යුද්දේ’, ‘තහංචි’ හා ‘කුවේණි’ ඔහුගේ වේදිකා නාට්‍ය සංගීතයේ දස්කම්වලට උදාහරණ කිහිපයක් ලෙස දැක්විය හැකියි.

සිංහල චිත්‍රපටයක ආ ප්‍රථම ඉංග්‍රීසි ගීතය වන්නේ “My dreams are roses for my love” ගීතය යි (රෝමියෝ ජුලියට් චිත්‍රපටයේ). මෙහි පද රචනය මර්සලින් ජයකොඩි පියතුමා විසින් කරනු ලැබූ අතර සංගීතවත් කළේ ෂෙල්ටන් ප්‍රේමරත්නයන් විසින්.

එමෙන්ම සිංහල චිත්‍රපටයක එන දිගම තේමා ගීතයේ නිර්මාපකයා ද වන්නේ ඔහුයි. ඒ ‘රෝමියෝ ජුලියට් කතාවක්’ චිත්‍රපටයේ තේමා ගීතය වූ ‘හාරසිය වසරකට පෙර හිරු නොබසින රට යැයි නම් ලත්’ නම් ගීතය යි.

මාලිනී බුලත්සිංහල ගායනා කළ “සඳ මඩලේ සිට”, සුජාතා අත්තනායක හා මිල්ටන් පෙරේරා ගායනා කළ “සුපුන් සඳක් නැගීලා”, හරූන් ලන්ත්‍රා හා සුජාතා අත්තනායක ගායනා කළ “හංසරානී”, රංජනී පෙරේරා ගායනා කළ “සීතල පාළුව” හා සුජාතා අත්තනායක ගායනා කළ “රන්තරු පුන්සඳ” විජේරත්න වරකාගොඩ ගැයූ “හිරු පායනවා”, මොරිස් දහනායක ගැයූ “ඔන්න ඕලු මලක්”, ශ්‍රීමති තිලකරත්න ගැයූ “කිරි කැටි පුතුනේ” ආචාර්ය පණ්ඩිත් අමරදේව හා චන්ද්‍රිකා සිරිවර්ධන ගැයූ “කැන්දන් එන්නේ කවදද මා” ගුණදාස කපුගේ ගැයූ “නාඹර ගොයමට” යන ජනප්‍රිය ගීත ෂෙල්ටන් පෙරේරාගේ නිර්මාණ අතරින් කිහිපයක්.

එමෙන්ම අතිශය ජනප්‍රිය “සමුද්‍රදේවි” නාට්‍යයේ “ගෝවේ ගෑනු පරදයි සහ “යුද්දෙට මම ගියා ගෑනි ගෙදර තියා “ ගීතය ද ෂෙල්ටන් ප්‍රේමරත්නයන්ගේ නිර්මාණයන් අතර වනවා.

අභාවප්‍රාප්ත ෂෙල්ටන් ප්‍රේමරත්නගේ අවසන් කටයුතු පිළිබඳව පසුව දැනුම්දීමට නියමිතයි.

මෙල්බන්හිදී ළමුන් 7 කට බරපතල තුවාල සිදුකළ ට්‍රක් රියදුරු නිර්දෝෂද?

ළමුන් 7 දෙනෙකුට බරපතල තුවාල සිදුකළ පාසල් බස් රථ අනතුර සම්බන්ධ චෝදනාව ට්‍රක් රථ රියදුරුගේ නීතීඥවරයා ප්‍රතික්ෂේප කරනවා.

Read More »