
ජෙට්ස්ටාර් ගුවන් සේවයේ යානයක කැබින් කාර්ය මණ්ඩලය ගුවන් යානයේ පැවති අසාමාන්‍ය ගන්ධයක් හේතුවෙන් රෝහල් ගත කර තිබෙනවා.
Gold Coast සිට Cairns දක්වා ගිය ගුවන් යානයකින් මෙම සිදුවීම වාර්තා වී ඇති අතර එහි කැබින් කාර්ය මණ්ඩල සාමාජිකයින් සිව් දෙනෙකු රෝහල් ගත කර ඇති බවයි වාර්තා වන්නේ.
ගුවන් යානය Cairns වෙත ගොඩ බැස්වීමෙන් අනතුරුව කාර්ය මණ්ඩල සාමාජිකයෙකු ක්ලාන්තවී තිබෙනවා.

ඒ වන විට යානයේ සිටි මගීන් ඉවත්ව ගොස් සිටි බව සඳහන්.
ක්වීන්ස්ලන්ඩ් ගිලන් රථ සේවය පැවසුවේ ගුවන් යානයේ මෙම අසාමාන්‍ය ගන්ධයට නිරාවරණය වීමෙන් පසු කාර්ය මණ්ඩලයට ඔක්කාරය හා හිසරදය වැනි රෝග ලක්ෂණ ඇති වූ බවයි.

කෙසේවෙතත් මෙම කාර්ය මණ්ඩල සාමාජිකයන්ගේ තත්වය බරපතල නොවන බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කළා.
ගුවන් යානය ඉංජිනේරුවන් විසින් පරීක්ෂා කරන අතර එහි නියමුවන්ට ද කිසිදු ගඳක් දැනී නොමැති බවයි ජෙට්ස්ටාර් ගුවන් සේවය සඳහන් කළේ.