ශ්‍රී ලංකාවෙන් පැමිණෙන සංචාරකයින් වැඩි වශයෙන් ආකර්ෂණය කර ගැනීමේ අරමුණින් තායිලන්ත අමාත්‍ය මණ්ඩලය විසින් නව වීසා ක්‍රමවේදයක් අනුමත කර තිබෙනවා.
මෙම වැඩසටහනේ ආරම්භයක් ලෙස ශ්‍රී ලාංකික සංචාරකයින්ට තායිලන්තයට ඇතුළු වීමට වීසා බලපත්‍රයක් අවශ්‍ය නොවන අතර දින 60ක් දක්වා රැඳී සිටිය හැකියි.
ලබන ජූනි මස පළමුවනදා සිට බලපැවැත්වෙන පරිදි ගනු ලැබූ මෙම පියවර ජාත්‍යන්තර සංචාරකයන් තායිලන්තයට ආකර්ෂණය කර ගැනීමේ පුළුල් වැඩසටහනක කොටසක් ලෙස සැලකෙනවා.
තායිලන්ත රජයේ ප්‍රකාශක චයි වචරොන්කේ ප්‍රකාශ කළේ හැකි තරම් සංචාරකයන් ආකර්ෂණය කර ගැනීම සඳහා රටේ විදේශ අමාත්‍යාංශය මෙම පියවර යෝජනා කළ බවයි.
මෙම වෙනස්කම් සමග වීසා රහිතව තායිලන්තයට ඇතුළුවීමට හැකියාව ඇති රටවල් සංඛ්‍යාව 57 සිට 93 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
දැනටමත් වීසා නිදහස භුක්ති විඳින රටවල් 57ක සංචාරකයන්ට දින 60ක් වීසා නොමැතිව රට තුළ සංචාරය කිරීමේ හැකියාව පවතිනවා.
තායිලන්තයේ වීසා රහිත ප්‍රවේශය සදහා සුදුසුකම් ලැබූ රටවල් අතර ඔස්ට්‍රේලියාව පළමු කාණ්ඩයේ සිටි අතර අලුතින් එක්වූ රටවල් අතරට ග්වාතමාලාව, ජැමෙයිකාව, ජොර්දානය මොරොක්කෝව, පැනමාව, උරුගුවේ වැනි රටවල් ඇතුලත්.