
ලෝක චෙස් සම්මේලනය විසින් ශ්‍රී ලංකාවේ නැගී එන ක්‍රීඩිකාවක වන ඔෂිනී දේවින්ද්‍යා ගුණවර්ධනට වුමන් ෆිඩේ මාස්ටර් (Woman Fide Master (WFM) ගෞරවය පිරිනමා තිබෙනවා.
කොළඹ විචර්ලි ජාත්‍යන්තර පාසලේ ඉගෙනුම ලබන 12 හැවිරිදි ඔෂිනී දේවින්ද්‍යා ගුණවර්ධන ඉතිහාසයට එක් වන්නේ අඩුම වයසකින් ෆිඩේ මාස්ටර් ගෞරවය හිමිකරගත් ශ්‍රී ලංකාවේ පළමු ක්‍රීඩිකාව ලෙසින්.
පසුගිය වසරේ ඊජිප්තුවේ පැවැති ලෝක කැඩෙට් චෙස් තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගි වූ ඔෂිනි, රටවල් 75කට අධික සංඛ්‍යාවක ක්‍රීඩිකාවන් අභිබවා යමින් රන් පදක්කම දිනාගැනීමට සමත් වුණා.

එය ලෝක යොවුන් චෙස් ක්‍රීඩා ඉතිහාසයේ ශ්‍රී ලංකික ක්‍රීඩිකාවක විසින් දිනාගත් පළමු හා එකම රන් පදක්කම ලෙස ද වාර්තා අතරට එක්වී තිබෙනවා. එම පදක්කම දිනාගන්නා විට ඇය ඉගෙනුම ලබමින් සිටියේ 06වැනි ශ්‍රේණියේයි.
මෙම ජයග්‍රහණය ඔෂිනිට ෆිඩේ මාස්ටර් ගෞරවය ප්‍රදානය කිරීමට විශේෂ හේතුවක් වී ඇතැයි සඳහන්.

මෙලෙස ශ්‍රී ලංකා චෙස් ක්‍රීඩා ඉතිහාසය අලුත් කර වාර්තා තබමින් ඉදිරියට එන ඔෂිනි මෙවර පැවති ජාතික චෙස් ශූරතාවලියේ කාන්තා ශූරතාව ද දිනා ගැනීමට සමත්වී තිබෙනවා.
මේ වනවිට දෙස් විදෙස් කෙළිබිම ජයගනිමින් සිටින ඔෂිනි, ශ්‍රී ලංකාව පළමු වරට රනින් බැබළ වූයේ ඇය වයස අවුරුදු 08ක වියෙහි පසුවන විටයි.
ඒ ලෝක යොවුන් චෙස් තරගාවලියේදී වයස 8න් පහළ බාලිකා රන් පදක්කම දිනා ගනිමින්.
අනතුරුව ඇය ආසියානු යොවුන්, බටහිර ආසියානු, යොවුන් පොදු රාජ්‍ය මණ්ඩලයීය වැනි චෙස් ශූරතාවලි රැසකම වයස 08න් පහළ, 10න් පහළ හා 12න් පහළ යන වයස් කාණ්ඩ නියෝජනය කරමින් ශ්‍රී ලංකාවට පදක්කම් දිනා දී තිබෙනවා.
මේ වනවිට ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම් අනුව ලංකාවේ අංක එකේ චෙස් ක්‍රීඩිකාව වන ඔෂිනි, ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම්වල ප්‍රසාද ලකුණු 1980ක් හිමිකරගෙන සිටිනවා.