
2023 වසරේදී පමණක් ඔන්ලයින් වංචා හේතුවෙන් ඩොලර් මිලියන 15 කට වඩා වැඩි මුදලක් ඕස්ට්‍රේලියානුවන්ට අහිමි වී ඇතැයි පාරිභෝගික නිරීක්ෂණ ආයතනය පවසනවා.
මේ හේතුවෙන් එවැනි වංචා සහ මුල්‍ය ගනුදෙනු සම්බන්ධයෙන් අවධානයෙන් පසුවන ලෙසටයි පාරිභෝගික නිරීක්ෂණ ආයතනය ජනතාවට අනතුරු අඟවා ඇත්තේ.
ඔස්ට්‍රේලියානුවන්ට වෙනත් වංචාවන් හේතුවෙන් මුදල් අහිමි වීම අඩුවෙන් සිදු වන අතර ඔන්ලයින් වංචාවලට හසුවීමෙන් මුදල් අහිමි කර ගැනීම් වැඩි බව ඔස්ට්‍රේලියා තරඟකාරී සහ පාරිභෝගික කොමිසම ද පෙන්වා දී තිබෙනවා.

ඔන්ලයින් වංචා යනු දුරකතනයට හෝ අන්තර්ජාලයට සම්බන්ධ උපාංග වෙත කිසියම් මෘදුකාංගයක් ඩවුන්ලෝඩ් කර ගැනීමට සලස්වා වෙනත් පාර්ශවයක් විසින් එම දුරකථනය හෝ පරිගණකය පාලනය කර බැංකු ගිණුම් වැනි පෞද්ගලික තොරතුරු ලබා ගැනීමයි.
තම ගිණුමේ, පරිගණකයේ හෝ දුරකථනයේ ගැටලුවක් ඇති බව පවසා දුරකථන ඇමතුමක්, ඊමේල් පණිවුඩයක් හෝ කෙටි පණිවුඩයක් හරහා මෙම මෘදුකාංග සම්බන්ධ පණිවුඩ යොමු කරනු ලබනවා.

වංචනිකයන් වෘත්තීය ප්‍රවීණයෙක් ලෙස පෙනී සිටිමින් AnyDesk, Zoho හෝ Team viewer වැනි සුප්‍රසිද්ධ මෘදුකාංග ඔස්සේ පරිගණක හෝ උපාංග වෙත පිවිස බැංකු ගිණුම් ප්‍රවේශ ලබා ගන්නා බවයි හෙළිවී ඇත්තේ.
මෙවැනි වංචා හමුවේ 2023 වසරේ දී ඔස්ට්‍රේලියානුවන්ට ඩොලර් මිලියන 15.5ක මුදලක් අහිමි වූ අතර මෙම වසරේ පළමු කාර්තුවේදී සිදු වූ පාඩු සියයට 54 කින් ඉහළ ගොස් තිබෙනවා.
වයස අවුරුදු 65 ට වැඩි පුද්ගලයින් මෙවැනි වංචාවලට ගොදුරු වීමට වැඩි ඉඩක් පවතින අතර ඔවුන්ට මේ සම්බන්ධයෙන් දැනුම ලබාදිය යුතු බවයි ප්‍රවීණයන් පවසන්නේ.
එමෙන්ම කිසිදු අවස්ථාවක ගිණුම්වල පාස්වර්ඩ් හෝ බැංකු ගිණුම්වලට අදාළ තොරතුරු නොහඳුනන කිසිවෙකු සමග හුවමාරු කර නොගන්නා ලෙසට ද දැනුම් දෙනවා.