
නව යොවුන් වියේ දරුවන්ගේ මානසික යහපැවැත්ම සම්බන්ධයෙන් ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ ප්‍රධාන සෞඛ්‍ය නිලධාරියා මහජන සෞඛ්‍ය අනතුරු ඇඟවීමක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.
ස්මාර්ට් ජංගම දුරකථන සහ සමාජ මාධ්‍ය මතුවීමත් සමඟ ප්‍රාන්තයේ තරුණ තරුණියන් අතර මානසික සෞඛ්‍ය ගැටලු ඉහළ යාම සම්බන්ධයෙනුයි ක්වීන්ස්ලන්ඩ්හි ප්‍රධාන සෞඛ්‍ය නිලධාරි ජෝන් ජෙරාඩ් විසින් මෙම අනතුරු ඇඟවීම නිකුත් කර ඇත්තේ.
වයස අවුරුදු 14 දක්වා ගැහැණු ළමයින් තම ජීවිතවලට ස්වයංව හානිකර ගැනීමේ සිදුවීම් 2009 වසරේ සිට තුන් ගුණයකට වඩා වැඩි වී ඇති බව හෙල්ත් ඔෆ් ක්වීන්ස්ලන්ඩ්ස් වාර්තාවේ දත්ත මගින් හෙළිවී තිබෙනවා.

2008-2009 අතර කාලයේ වයස අවුරුදු 14ට අඩු ගැහැණු ළමයින් රෝහල් ගත කිරීමේ ප්‍රතිශතය වූ සියයට 19.1 2020-2021 අතර මුල්‍ය වර්ෂයේ සියයට 70.5ක් දක්වා ඉහළ ගොස් ඇති බව සඳහන්.
වයස අවුරුදු 15 ත් 19 ත් අතර ගැහැණු ළමයින් ස්වයං හානි සිදුකර ගැනීම් හේතුවෙන් රෝහල් ගත කිරීම එම කාලය තුළ දෙගුණයකින් වැඩි වී ඇතැයි වාර්තාවල සඳහන්.

මෙවැනි තත්වයක් මත යෞවනයන්ගේ සමාජ මාධ්‍ය භාවිතය සඳහා නීතිමය සීමාවන් නිර්දේශ කරන අතර වෛද්‍ය ජෙරාඩ් පැවසුවේ මෙය මහජන සෞඛ්‍ය අනතුරු ඇඟවීමක් බවයි.
මෙම වසර මුලදී ක්වීන්ස්ලන්ඩ් හෙල්ත් විසින් මානසික සෞඛ්‍ය සහ සමාජ මාධ්‍ය ප්‍රවීණයන් පිරිසක් එක්රැස් කර තරුණයින්ගේ මානසික සෞඛ්‍යයට සමාජ මාධ්‍යවල බලපෑම පරීක්ෂා කර තිබුණා.
සමාජ මාධ්‍ය ප්‍රවේශය සීමා කිරීම සඳහා තරුණ තරුණියන් තමන්ගේම සමාජ මාධ්‍ය ගිණුම් නිර්මාණය කිරීම වැළැක්වීම සහ අධීක්ෂණයකින් තොරව සමාජ මාධ්‍ය භාවිතා කිරීම වැළැක්වීම සිදු කළ හැකි බවටයි යෝජනා ඉදිරිපත් වී ඇත්තේ.