
ඊශ්‍රායල අගමැති සහ හමාස් නායකයින් අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කරන ලෙස ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ අභිචෝදකයාගේ ඉල්ලීම සම්බන්ධයෙන් අදහස් දැක්වීම අගමැති ඇන්තනි ඇල්බනීස් ප්‍රතික්ෂේප කර තිබෙනවා.
එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් මෙම පියවර විවේචනය කළද, දැනට පවතින අධිකරණ ක්‍රියාමාර්ග පිළිබඳව අදහස් දැක්වීම නුසුදුසු බවයි අගමැතිවරයා සඳහන් කළේ.
ඊශ්‍රායල අගමැති සහ හමාස් සංවිධානයේ නායකත්වය අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු නිකුත් කරන ලෙසට ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ ඉහළම අභිචෝදකයා ඉල්ලීම් කර තිබුණා.

අභිචෝදක කරීම් ඛාන් හේග්හිදී මෙම ඉල්ලීම් ඉරිදිපත් කළේ ඊශ්‍රායල නායක බෙන්ජමින් නෙතන්යාහු සහ ඔහුගේ ආරක්ෂක අමාත්‍යවරයා ගාසා යුද්ධයේදී සිදු වූ යුද අපරාධ සහ මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ සම්බන්ධයෙන් වගකිව යුතු බවට සාධාරණ හේතු ඇති බව පෙන්වා දෙමින්.
හමාස් හි ජ්‍යෙෂ්ඨ නායකයින් ද යුද අපරාධ සහ ගැටුම අතරතුර මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ සම්බන්ධයෙන් වගකිව යුතු බවයි ඔහු චෝදනා කර තිබුණේ.

ගාසා තීරයේ සිදුවෙමින් පවතින්නේ ජන සංහාරයක් බවට ඇමරිකා එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් කළ ප්‍රකාශ අගමැති ඇන්තනි අල්බනිස් ප්‍රතික්ෂේප කළ ද මෙම ඉල්ලීම පිළිබඳ මාධ්‍ය වෙත කරුණු දක්වා නැහැ.
ඔස්ට්‍රේලියාවේ අධිකරණ ක්‍රියාදාමයන් හෝ ඔස්ට්‍රේලියාව පාර්ශවකරුවෙකු නොවන ගෝලීය අධිකරණ ක්‍රියාදාමයන් ගැන තමා අදහස් නොදක්වන බවයි අගමැතිවරයා අවධාරණය කළේ.
ඊශ්‍රායල් හෝ පලස්තීන සෑම ජීවිතයක්ම වැදගත් වන අතර මෙම ගැටුමට කඩිනම් විසඳුමක් ඉල්ලා සිටින බව ද ඇන්තනි අල්බනිස් ප්‍රකාශ කළා.