
නිව් කැලිඩෝනියාවේ අර්බුධකාරී වාතාවරණය හේතුවෙන් අතරමංව සිටින ඔස්ට්‍රේලියානුවන් මව් රටට ගෙන ඒමට රජය විශේෂ වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා.
ප්‍රංශයට අයත් දූපත් කලාපය තුළ සතියක පමණ කාලයක සිට පවතින ප්‍රචණ්ඩකාරී නොසන්සුන්තාව හමුවේ එහි අතරමංව සිටින ඔස්ට්‍රේලියානුවන් ගෙන්වා ගැනීමට රජය කටයුතු කරමින් සිටින බවයි විදේශ අමාත්‍ය පෙනී වොන්ග් සඳහන් කළේ.
විරෝධතා හේතුවෙන් මේ වන විට පුද්ගලයන් 6 දෙනෙකු මියගොස් තවත් විශාල පිරිසක් තුවාල ලබා ඇතැයි සඳහන්.

ප්‍රකාශයක් නිකුත් කරමින් මෙරට විදේශ අමාත්‍යවරිය ඔස්ට්‍රේලියානුවන්ට අනතුරු අඟවා ඇත්තේ ප්‍රංශ පැසිෆික් කලාපයට නොයන ලෙසටයි.
කැරලි කෝලාහල හේතුවෙන් ගුවන් ගමන් නවතා දැමීමෙන් පසු අතරමං වී ඇති අයට සහාය වීමට රජය කටයුතු කරන අතර ප්‍රංශ බලධාරීන්ගේ අනුමැතිය ලැබීමෙන් පසු ඔස්ට්‍රේලියානු ආරක්ෂක බලකාය නිව් කැලිඩෝනියාවට පියාසර කිරීමට සූදානම් බවයි විදේශ අමාත්‍යවරිය කියාසිටියේ.

නිව් කැලිඩෝනියාවේ ඡන්ද හිමි නාමලේඛනවල වෙනස්කම් සිදු කිරීම සඳහා ප්‍රංශ ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට පැරීසියේ පැවැත්වෙන සාකච්ඡාවක් සම්බන්ධයෙන් මෙම විරෝධතාව හටගෙන තිබෙනවා.
නව කැලිඩෝනියාවේ වසර 10ක් ජීවත් වූ පදිංචිකරුවන්ට පළාත් සභා මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට ඉඩ සලසන පනතක් බදාදා ජාතික සභාව විසින් අනුමත කර තිබුණා.
විරුද්ධවාදීන් පවසන්නේ මෙම පියවර නිව් කැලිඩෝනියාවේ ප්‍රංශ හිතවාදී දේශපාලනඥයන්ට වාසිදායක වන අතර ආදිවාසී ජනතාව තවදුරටත් කොන් කරනු ඇති බවයි.