පවතින නොසන්සුන්තා හේතුවෙන් ප්‍රංශය නිව් කැලිඩෝනියාවේ හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.
ප්‍රංශ රජය නිවේදනය කර ඇත්තේ පැසිෆික් ප්‍රදේශයේ අවම වශයෙන් දින 12 ක හදිසි තත්වයක් පනවා ඇති අතර 4 දෙනෙකුට මරු කැඳවූ නොසන්සුන්තාව මැඩපැවැත්වීම සඳහා ආරක්ෂක අංශවල බලය ද ඉහළ නංවන බවයි.
ප්‍රාදේශීය මාධ්‍ය වාර්තාවලට අනුව බලධාරීන් බදාදා පස්වරුවේ පැරිසියේ පැවති කැබිනට් රැස්වීමෙන් පසුව මෙම තීරණය ගෙන ඇතැයි සඳහන්.
හදිසි පියවර මගින් ප්රචණ්ඩත්වය මැඩපැවැත්වීමට ආරක්ෂක බලධාරීන්ට වැඩි බලතල ලබා දෙන අතර මහජන සාමයට තර්ජනයක් යැයි සලකන පුද්ගලයින් නිවාස රඳවා තබා ගැනීමේ හැකියාව සහ සෝදිසි කිරීම්, ආයුධ අත්අඩංගුවට ගැනීම සහ ගමන් බිමන් සීමා කිරීම මෙන්ම නීති උල්ලංඝනය කරන්නන්ට සිර දඬුවම් ලබා දීම වැනි නියෝග ඇතුලත් වනු ඇති.
ප්‍රංශය අවසන් වරට සිය පාලන ප්‍රදේශයකට එවැනි පියවරක් ගෙන ඇත්තේ 1985 දී ද නිව් කැලිඩෝනියාව ඉලක්ක කර ගනිමින් බවයි අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කළේ.
මෙම නොසන්සුන්තාව සහ ගුවන් ගමන් අවලංගු කිරීම මධ්‍යයේ දූපත් වල නිවාඩුවට යන ඔස්ට්‍රේලියානුවන්ට ද අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.
ඔස්ට්‍රේලියාවේ Smart Traveler විසින් විරෝධතා සහ පෙළපාලි හේතුවෙන් නොමේයා (Noumea) අගනගර ප්‍රදේශය දෙවන මට්ටමේ අවදානම් ප්‍රදේශයක් ලෙසට නම් කර තිබෙනවා.
විරෝධතා කෙටි දැනුම්දීමකින් පසු ආරම්භ වන ඒවා වන අතර ප්‍රචණ්ඩකාරී විය හැකි බැවින් පෙළපාලි, මහජන රැස්වීම් සහ මාර්ග බාධක වළක්වා ගන්නා ලෙසටයි ඔස්ට්‍රේලියානුවන්ට උපදෙස් දී ඇත්තේ.
විදේශ සහ වෙළඳ කටයුතු දෙපාර්තමේන්තුවේ වාර්තාවලට අනුව සෑම වසරකම ඕස්ට්‍රේලියානුවන් 300,000කට වැඩි පිරිසක් නව කැලිඩෝනියාවට පැමිණෙන බව සඳහන්.
බ්‍රහස්පතින්දා ලා ටොන්ටූටා ගුවන් තොටුපළ වසා දැමීමත් සමඟ නිව් කැලිඩෝනියා දක්වා ගමන් ගන්නා එයාර්කාලින් සමාගම සිඩ්නි සහ බ්‍රිස්බේන් ගුවන් ගමන් අවලංගු කර තිබෙනවා.