
ඉන්ෆ්ලුවෙන්සා උණ ආසාදිතයන් වාර්තා වීම ඉහළ යමින් පවතින බැවින් රෝගයෙන් ආරක්ෂා වන ලෙස නිව් සවුත් වේල්ස් සෞඛ්‍ය බලධාරීන් ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.
නවතම දත්ත පෙන්නුම් කර ඇත්තේ මෙවර උණ සමය කලින් පැමිණීමට ආසන්න බවයි.
අප්‍රේල් මාසයේදී පුද්ගලයින් 5,160 දෙනෙකුට ඉන්ෆ්ලුවෙන්සා රෝගය වැළඳී ඇති අතර එය පසුගිය වසරේ එම කාලයට වඩා සියයට 20 කට වඩා වැඩි වීමක් බවයි ප්‍රාන්ත සෞඛ්‍ය අංශ විසින් ප්‍රකාශයට පත් කරන ලද ශ්වසන නිරීක්ෂණ වාර්තා පෙන්වා දෙන්නේ.

එම කාලය තුළ සෑම සතියකම පුද්ගලයින් 200කට ආසන්න පිරිසක් ඉන්ෆ්ලුවෙන්සා වැනි රෝග සමඟ රෝහල්වල හදිසි ප්‍රතිකාර අංශ වෙත පැමිණ තිබෙනවා.
ඔස්ට්‍රේලියානු ඉන්ෆ්ලුවෙන්සා නිරීක්ෂණ වාර්තාව පෙන්වා දෙන්නේ ඉන්ෆ්ලුවෙන්සා රෝගීන් සාමාන්‍යයෙන් මැයි මාසයේදී ඉහළ යන අතර එය ජූලි සහ අගෝස්තු මාසවල උච්චතම අවස්ථාවට පැමිණෙන බවයි.

2019 දී වසරේ පැවති ආකාරයේ උණ සමයක් මේ වන විට නිව් සවුත්වේල්ස් ප්‍රාන්තය අත්විඳිමින් සිටින අතර අප්‍රේල් මාසයේදී රෝගීන් ඉහළ ගොස් ජුනි සහ ජූලි මාසවල උච්චතම අවස්ථාවට ලඟා වීමක් 2019 වසරේ සිදුවී තිබුණා.
කෙසේ වෙතත් නිව් සවුත්වේල්ස් විශ්ව විද්‍යාලයේ සෞඛ්‍ය පිළිබඳ සහකාර මහාචාර්ය හෝලි සිඑල් පැවසුවේ මුල් උණ සමය ගැඹුරින් සැලකිලිමත් වීමට හේතුවක් නොවන බවයි.
මේ අතර ප්‍රාන්ත සෞඛ්‍ය අමාත්‍ය රයන් පාර්ක් සෞඛ්‍ය අංශ වෙත උපදෙස් දී ඇත්තේ අවදානම් ජනතාවට හැකි ඉක්මනින් එන්නත් ලබා දෙන ලෙසටයි.
මෙය සාමාන්‍ය සෙම්ප්‍රතිශ්‍යාව සහ උණ නොවන අතර ඉන්ෆ්ලුවෙන්සා රෝගයෙන් වැඩිපුරම පීඩාවට පත්වන්නේ කුඩා දරුවන් බව ද අමාත්‍යවරිය සඳහන් කර තිබෙනවා.
රජයේ ශ්වසන නිරීක්ෂණ වාර්තා පෙන්වා දෙන්නේ අප්‍රේල් මාසයේදී වයස අවුරුදු 10 ට අඩු ළමුන් 1,458 දෙනෙකුට ඉන්ෆ්ලුවෙන්සා රෝගය වැළඳී ඇති අතර එය සියලුම රෝග විනිශ්චයන්ගෙන් සියයට 28ක් වන බවයි.