
මෙම වසරේ පළමු මාස හතර තුළ ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රේෂණ ප්‍රමාණය ඩොලර් බිලියන 2 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා.
ජනවාරි සිට අප්‍රේල් දක්වා කාලය තුළ ඇමරිකානු ඩොලර් බිලියන 2.079ක් විදේශ ප්‍රේෂණ ලෙස ලැබී ඇති බවයි කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය නිවේදනය කර ඇත්තේ.
අප්‍රේල් මාසයේදී පමණක්, විදේශ ප්‍රේෂණ ඇමෙරිකානු ඩොලර් මිලියන 543.8ක් ලැබී ඇති අතර එය 2023 වසරේ එම කාලයට සාපේක්ෂව සියයට 19.7ක වර්ධනයක් බව සඳහන්.

පසුගිය 2023 වසරේ මුල් මාස හතරට සාපේක්ෂව මෙම වසරේ එම කාලය තුළ විදේශගත ශ්‍රමිකයන් විසින් එවන ලද විදේශ ප්‍රේෂණ ප්‍රමාණයේ ද සියයට 11.4 ක වර්ධනයක් පෙන්නුම් කර තිබෙනවා.
විදේශගත ශ්‍රමිකයින් නීත්‍යානුකූල බැංකු ක්‍රමය හරහා මෙම මුදල් ශ්‍රී ලංකාවට එවා ඇති බව ද කම්කරු හා විදේශ රැකියා අමාත්‍යංශය ප්‍රකාශ කළා.

මේ අතර ශ්‍රී ලංකාවේ දළ නිල සංචිත ප්‍රමාණය පසුගිය මාර්තු මාසය වන විට අමෙරිකානු ඩොලර් බිලියන 05 දක්වා වැඩි වී ඇති බව ශ්‍රී ලංකා මහා බැංකුව සඳහන් කර තිබෙනවා.
දළ නිල සංචිත ප්‍රමාණය ඉහළ යාමට ප්‍රධාන වශයෙන් හේතූ වී ඇත්තේ මහ බැංකුව ශුද්ධ පදනම මත දේශීය විදේශීය විනිමය වෙළෙඳපලෙන් සැලකිය යුතු ලෙස විදේශ විනිමය මිලදී ගැනීමයි.
චීන මහ බැංකුවෙන් ලැබුණු විදේශ විනිමය හුවමාරු පහසුකමද මෙම නිල සංචිත සඳහා ඇතුළත්ව ඇති බව සඳහන්.
එසේම මාර්තු මාසයේ වෙළෙඳ භාණ්ඩ අපනයන ආදායම අමෙරිකානු ඩොලර් මිලියන 1,139ක් වන බව ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කළා.