
සිඩ්නි නුවරට පවතින අධික වර්ෂාපතනය හමුවේ වොරගම්බා වේල්ල අද උදෑසන වාන් දැමීම ආරම්භ වී තිබෙනවා.
අද පෙරවරු 7.30ට පිටාර ගැලීම ආරම්භ වූ අතර එය අද දිනය පුරා පැවතිය හැකි බවයි නිව් සවුත්වේල්ස් ජල කළමනාකරණ බලධාරීන් ප්‍රකාශ කළේ.
හෝක්ස්බරි සහ නේපීන් ගඟ ඇතුළු ජල මාර්ග සහ ගංවතුර ඇති විය හැකි පහත් බිම්වලින් ඈත්ව සිටින ලෙස ජනතාවට දැනුම් දී තිබෙනවා.

අද පෙරවරු 8න් අවසන් වූ පැය 48 තුළ මෝරුයා සහ ඩියුවා ගංගා ආශ්‍රිත ප්‍රදේශවලට මිලිමීටර් 150 ක වර්ෂාපතනයක් වාර්තා වී ඇති අතර දකුණු වෙරළ තීරයේ වම්බාන් ප්‍රදේශයට ගංවතුර අනතුරු ඇඟවීම් ද නිකුත් කෙරුණා.
ජනතාවට උපදෙස් දී ඇත්තේ වෙබ් අඩවියේ සහ ෆේස් බුක් පිටුවල සඳහන් කරනු ලබන අනතුරු ඇඟවීම් පිළිබඳව ද නිරීක්ෂණයෙන් පසුවන ලෙසටයි.

ඉදිරි පැය 24 තුළ දකුණු වෙරළට සහ ඉලවාරා ප්‍රදේශවලට මිලිමීටර් 100 ඉක්මවූ වර්ෂාපතනයක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා කාර්යාංශය ප්‍රකාශ කළා.
සිඩ්නි අවට ප්‍රදේශවලට ඊයේ රාත්‍රියේ මිලිමීටර් 30ක වර්ෂාපතනයක් පැවති අතර අද තවත් මිලිමීටර් 20ක වර්ෂාපතනයක් වාර්තා වනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.
අද රාත්‍රියේ තවදුරටත් වර්ෂාපතනය අපේක්ෂා කරන බැවින් සැලකිලිමත් වන ලෙසටයි ජනතාවට දැනුම් දෙන්නේ.