දකුණු ගාසා තීරයේ රෆා නගරයට ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරවලින් කුඩා ළමයින් 18 දෙනෙකු ඇතුලු පුද්ගලයින් 22ක් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.
ඇමරිකා එක්සත් ජනපදය තම සමීප සගයා වන ඊශ්‍රායලයට ඩොලර් බිලියන ගනානක අතිරේක ආධාර අනුමත කිරීමට නියමිතව තිබියදීයි මෙම ප්‍රහාරය එල්ලවී ඇත්තේ.
ගාසා තීරයේ පවතින ගැටුම් හේතුවෙන් මිලියන 2.3ක් වූ ජනගහනයෙන් අඩකට වැඩි පිරිසක් රැකවරණය පතා සිටින රෆා වෙත ඊශ්‍රායලය දිනපතා ගුවන් ප්‍රහාර එල්ල කරන බව සඳහන්.
ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු අවධාරණය කර ඇත්තේ ඉදිරි දිනවලදී හමාස් වෙත දේශපාලන සහ හමුදා පීඩනය වැඩි කරන බවයි.
තම ප්‍රාණ ඇපකරුවන් ආපසු ගෙන ඒමට සහ ජයග්‍රහණය ලබා ගැනීමට ඇති එකම මාර්ගය මෙය වන බැවින් හමාස් වෙත වඩාත් වේදනාකාරී පහරදීම් සිදු කරන බවයි ඔහු කියාසිටියේ.
ගාසා තීරයේ ප්‍රාදේශීය සෞඛ්‍ය නිලධාරීන්ට අනුව ඊශ්‍රායල හමාස් ගැටුමෙන් පලස්තීනුවන් 34,000 කට වැඩි පිරිසක් මේ වන විට මිය ගොස් ඇති අතර ඔවුන්ගෙන් තුනෙන් දෙකක්වත් ළමයින් සහ කාන්තාවන් බව සඳහන්.
හමාස් සංවිධානය විනාශ කර සියලු ප්‍රාණ ඇපකරුවන් ආපසු ගෙන්වා ගන්නා තෙක් යුද්ධය දිගටම කරගෙන යාමට නෙතන්යාහු ප්‍රතිඥා දී ඇති බවයි වාර්තා වන්නේ.
ගාසා සෞඛ්‍ය අමාත්‍යාංශයට අනුව යුද්ධයෙන් අවම වශයෙන් පලස්තීනුවන් 34,097ක් මිය ගොස් තවත් 76,980ක් තුවාල ලබා තිබෙනවා.