ඔස්ට්‍රේලියානු ළදරුවන්ගේ ආහාර අසාත්මිකතාවට හේතු සොයා පරීක්ෂණ

ඔස්ට්‍රේලියාවේ ළදරුවන්ගෙන් සියයට 10කට පමණ බලපාන ආහාර අසාත්මිකතා ගැටලුව සම්බන්ධයෙන් බලධාරීන්ගේ අවධානය යොමුවී තිබෙනවා.

අසාත්මික රෝග යනු ඔස්ට්‍රේලියාවේ විශාලතම මහජන සෞඛ්‍ය අභියෝගයන්ගෙන් එකක් වන අතර සෑම දරුවන් 10 දෙනෙකුගෙන්ම එක් අයෙකු පළමු වසර තුළ ආහාර අසාත්මිකතාවයක් පෙන්නුම් කෙරෙන බවයි සඳහන් වන්නේ.

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ පමණක් පසුගිය වසර 10ක් පමණ කාලයක් තුල ආහාර අසාත්මිකතා හේතුවෙන් රෝහල් ගත වූ ළමුන් සංඛ්‍යාවේ සියයට 300කට වඩා වැඩි වර්ධනයක් දක්නට ලැබෙන බව සඳහන්.

අසාත්මිකතා හමුවේ විශේෂඥ සේවාවන් ලබා ගැනීමේ අඩුවක් පවතින අතර ඔස්ට්‍රේලියානු සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පවසන්නේ දැඩි ආහාර අසාත්මිකතාවන් සඳහා ඇති එකම අනුමත ප්‍රතිකාරය ඇඩ්‍රිනලින් බවයි.

රට කජු, බිත්තර, බටර් වර්ග වැනි ආහාර සඳහා ළමයින් අසාත්මිකතා දැක්වීමට නිශ්චිත හේතුව තවමත් අනාවරණය වී නැහැ

2019 වසරේදී පාර්ලිමේන්තු පරීක්ෂණයක අවධානයට ද මෙම සිද්ධිය ලක් වූ අතර එහිදී ජාතික ක්‍රියාකාරී සැලැස්මක් සඳහා නිර්දේශ 24ක් ද ඉදිරිපත් කර තිබුණා.

ඒ සම්බන්ධයෙන් අවධානය යොමු කරමින් මේ පිළිබඳ පරීක්ෂණ තවදුරටත් සිදු කිරීමටයි සෞඛ්‍ය බලධාරීන් තීරණය කර ඇත්තේ.