
ඔස්ට්‍රේලියානුවන් පලතුරු සහ එළවළු අනුභව කිරීම අඩු වී ඇති අතර කිරි පානය ද අඩු වී ඇතැයි ඔස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශයේ නවතම වාර්තා පවසනවා.
ඔවුන් එළවළු, පළතුරු සහ කිරි නිෂ්පාදන සහිත සියලුම ප්‍රධාන ආහාර කාණ්ඩ අඩුවෙන් පරිභෝජනය කරන බවයි එම වාර්තාවෙන් හෙළිවී ඇත්තේ.
ඔස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශය විසින් නිකුත් කරන ලද නව වාර්තාවට අනුව, 2022-2023 අතර කාලය තුළ ඔස්ට්‍රේලියාව පුරා ආහාර සහ මධ්‍යසාර නොවන පාන වර්ග ටොන් මිලියන 14.8ක් අලෙවි වී තිබෙනවා.

එය පෙර වසරට සාපේක්ෂව සියයට 1.9ක අඩුවීමක් බව සඳහන්.
ක්ෂණික ආහාර අලෙවිසැල්, කැෆේ, ආපනශාලා හෝ සුපිරි වෙළඳසැල් නොවන ස්ථාන වෙතින් ලබා ගන්නා ආහාර මෙයට ඇතුළත් වී නැහැ.

පෙර වසර හා සසඳන විට අදාළ ආහාර ඛාණ්ඩ පරිභෝජනය අඩු වීමට හේතුව මෑත කාලීන ආහාර මිල උද්ධමනය විය හැකි බවයි එම වාර්තාවේ දැක්වෙන්නේ.
ඔස්ට්‍රේලියානුවන් පෙර මාස 12ට සාපේක්ෂව 2022-2023 කාලපරිච්ඡේදය තුළ බෝතල් කළ ජලය සියයට 1.6ක් වැඩියෙන් පරිභෝජනය කර තිබෙනවා.
ශක්තිජනක සහ ක්‍රීඩා පාන වර්ග ද සියයට 3.3කින් පරිභෝජනය වැඩි වූ අතර කුකුල් මස් වැනි ආහාර ද සියයට 2.6 කින් ඉහළ ගොස් ඇතැයි සඳහන්.