
ඉන්දුනීසියාවේ නැගෙනහිර කලාපයට රිච්ටර් මාපක 6.6ක ප්‍රබල භූමිකම්පාවක් ඇති වූ බව එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පවසනවා.
එහෙත් සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර නොමැති බවයි ඔවුන් ප්‍රකාශ කළේ.
උතුරු මලුකු පළාතේ හල්මහෙරා දූපතට ඔබ්බෙන් කිලෝමීටර් 35ක් පමණ ගැඹුරකදී භූමිකම්පාව ඇති වූ බව සඳහන්.

භූමිකම්පාවෙන් සිදුවූ හානි හෝ තුවාල පිළිබඳ මෙතෙක් වාර්තා වී නොමැති අතර පැසිෆික් සුනාමි අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය පැවසුවේ භූමිකම්පාවෙන් සුනාමි තර්ජනයක් නොමැති බවයි.
එහෙත් පසු කම්පන සම්බන්ධයෙන් සැලකිලිමත් වන ලෙසට ඉන්දුනීසියාවේ භූ භෞතික විද්‍යා ඒජන්සිය අවට ප්‍රදේශවල පදිංචිකරුවන්ට උපදෙස් දී තිබෙනවා.

විශාල දූපත් සමූහයක් වන ඉන්දුනීසියාව ජපානයේ සිට අග්නිදිග ආසියාව හරහා සහ පැසිෆික් ද්‍රෝණිය හරහා විහිදෙන පැසිෆික් ගිනි වළල්ල මත පිහිටීම හේතුවෙන් නිතර භූමිකම්පාවලට ලක් වනවා.
2021 වසරේ ජනවාරි මාසයේදී සුලවේසි දූපත කම්පා කළ රික්ටර් මාපක 6.2 ක භූමිකම්පාවකින් පුද්ගලයින් 100 කට වැඩි පිරිසක් මිය ගිය අතර දහස් ගණනකට නිවාස අහිමි වුණා.
2018 වසරේදී සුලවේසිහි රික්ටර් මාපක 7.5ක භූමිකම්පාවක් සහ පසුව ඇති වූ සුනාමියෙන් පුද්ගලයින් 2,200කට වැඩි පිරිසක් ජිවිතක්ෂයට පත්වී තිබෙනවා.
එමෙන්ම 2004 වසරේදී රික්ටර් මාපක 9.1ක භූමිකම්පාවක් ආචේ පළාතට බලපෑ අතර ඉන් 170,000 කට වැඩි පිරිසක් මරණයට පත්වුණා.