
විදේශ ගත ශ්‍රමිකයින් මාර්තු මාසයේදී පමණක් ඇමරිකානු ඩොලර් මිලියන 572.4 ක මුදලක් ශ්‍රී ලංකාවට එවා ඇති බව කම්කරු සහ විදේශ රැකියා අමාත්‍යංශය පවසනවා.
ඒ අනුව මේ වසරේ මුල් මාස තුන තුළදී පමණක් ඩොලර් බිලියන 1.53ක මුදලක් එවා ඇති අතර එය පසුගිය වසරට සාපේක්ෂව සියයට 8.7ක ඉහල යාමක් බවයි අමාත්‍යංශය පවසන්නේ.
කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර අමාත්‍ය ධූරය ලබාගැනීමෙන් පසුව විදේශගත ශ්‍රමිකයින් එවූ ප්‍රේශණ ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 10 ඉක්මවා ඇති බව එම අමාත්‍යංශය ප්‍රකාශ කළා.

ඩොලර් බිලියන 10.26ක් වන විදේශ ප්‍රේෂණ නීත්‍යානුකූල බැංකු ක්‍රම හරහා මෙරටට ගෙන්වා ගැනීම සදහා විදේශ ගත ශ්‍රමිකයින් වෙනුවෙන් දිරි දීමනා රැසක් ද ක්‍රියාත්මක කර තිබුණා.
නීත්‍යානුකූල බැංකු ක්‍රම හරහා මුදල් එවන ශ්‍රමිකයින්ට විද්‍යුත් වාහන ආනයන බලපත්‍ර ලබාදීම, මනුසවි විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමය හදුන්වා දීම, බහු කාර්ය ණය යෝජනා ක්‍රමයක් හදුන්වා දීම, හෝප් ගේට් නමින් විදේශගත ශ්‍රමිකයින් සඳහා වන විශේෂ ද්වාරයක් ගුවන්තොටුපොලේ හඳුන්වා දීම වැනි පියවර ද ඊට අයත්.

මේ අතර මේ වසරේ පළමු මාස 03තුළ සංචාරකයින් 635,784 දෙනෙකු ශ්‍රී ලංකාවට පැමිණ ඇති බව සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු පවසනවා.
එමඟින් උපයා ඇති ආදායම අමෙරිකානු ඩොලර් මිලියන 1,025ක් බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.
වසරක් තුළ පැමිණි වැඩිම සංචාරකයින්ගේ සංඛ්‍යාව මෙම වසරේ දී වාර්තා වීමට බොහෝ දුරට ඉඩකඩ පවතින බව ද ඔහු සඳහන් කර තිබෙනවා.
මේ වනවිට වසරක දී වැඩිම සංචාරකයින් පිරිසක් ශ්‍රී ලංකාවට පැමිණ ඇත්තේ 2018 වසරේ දී වන අතර එම සංඛ්‍යාව ලක්ෂ 23ක්.