
මොසැම්බික් හි උතුරු වෙරළට ඔබ්බෙන් වූ ප්‍රදේශයකදී යාත්‍රාවක් ගිලී යාමෙන් පුද්ගලයින් 90කට වැඩි පිරිසක් මියගොස් තිබෙනවා.
එහි සිටි බවට විශ්වාස කෙරෙන 130 දෙනෙකුගෙන් 5 දෙනෙකු පමණ බේරාගෙන ඇති බවයි නාම්පුලා පළාතේ ආරක්ෂක නිලධාරීන් සඳහන් කළේ.
මියගිය අය අතර කුඩා දරුවන් රැසක් ද සිටින බවට වාර්තා වන අතර මෙම පිරිස කොලරාව පැතිරෙමින් ඇති ප්‍රදේශයක් මගහැර පළා යමින් සිටි පිරිසක් බවට ද වාර්තා වනවා.

ප්‍රමාණය ඉක්මවා මගීන් රැගෙන යාම හමුවේ යාත්‍රාවේ තදබදය වැඩි වීම සහ එය මගීන් රැගෙන යාමට සුදුසු තත්වයේ නොතිබීම හේතුවෙන් එය ගිලී ගොස් ඇතැයි සඳහන්.
බෝට්ටුව නාම්පුලා වෙරළට ඔබ්බෙන් වූ ලුංගා සිට මොසැම්බික් දූපත දක්වා ගමන් කරමින් තිබූ බව අනාවරණ වී තිබෙනවා.

පසුගිය 2023 වසරේ ජනවාරි මාසයේ සිට දකුණු අප්‍රිකාවේ රටවල් කිහිපයක් පුරා පැතිර ගිය කොලරා රෝගයෙන් දරුණු ලෙස පීඩාවට පත් වූ ප්‍රදේශයක් වන්නේ නම්පුලා පළාතයි.
යුනිසෙෆ්ට සංවිධානයට අනුව මෙම පැතිර යාම වසර 25 කට පසු වාර්තා වූ දරුණුතම වසංගතය ලෙසටයි සැලකෙන්නේ.
2023 ඔක්තෝම්බර් මාසයේ සිට මේ දක්වා මොසැම්බික් හි තහවුරු වූ කොලරා රෝගීන් 13,700ක් සහ මරණ 30ක් වාර්තා වී තිබෙනවා.