Search

මෙල්බන් බක්මහ උළෙලට පැමිණි අගමැති තැබූ ෆේස්බුක් සටහන

අග්‍රාමාත්‍ය ඇන්තනී ඇල්බනීස් සහ වික්ටෝරියා ප්‍රාන්ත අගමැතිනි ජසින්තා ඇලන්ගේ සහභාගීත්වයෙන් මෙල්බන් බක් මහ උළෙල අති උත්කර්ශවත් ආකාරයෙන් අද පැවැත්වුණා.

හෙළ සිරිතට මුල් තැන දෙමින් පැවති බක් මහ උළෙලට අද පස්වරුවේ අග්‍රමාත්‍ය ඇන්තනී ඇල්බනීස් මෙන්ම ප්‍රාන්ත අගමැතිනි ජසින්තා ඇලන් ඇතුලු සම්භාවනීය අමුත්තන් රැසක් ද එක්ව සිටියා.

ඔවුන් එහිදී ශ්‍රී ලංකාවේ ජන ක්‍රීඩා සිදුවන ආකාරය දැක බලා ගැනීමට ද එක්වීම විශේෂත්වයක්.

මෙම අවස්ථාවට එක්වූ අග්‍රාමාත්‍ය ඇන්තනී ඇල්බනීස් නව වසරට සුබ පැතුම් එක් කරමින් තම නිල ෆේස්බුක් ගිණුමේ සටහනක් ද තබා තිබුණා.

ශ්‍රී ලංකාවෙන් පිටත විදෙස් රටකදී පවත්වනු ලබන දැවැන්තම අලුත් අවුරුදු උත්සවයක් වන මෙල්බර්න් බක්මහ උළෙල අද පැවැත්වුණේ Dandenong showgrounds හිදීයි.

28 වන වරටත් ශ්‍රී ලංකා ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනයේ ආදි ශිෂ්‍ය සංගමය විසින් මෙවර මෙල්බන් බක් මහ උළෙල සංවිධාන කර තිබුණා.

අලුත් අවුරුදු කෑම මේසය, අලුත් අවුරුදු චාරිත්‍ර මෙන්ම සෑම වයස් කාණ්ඩයකටම සහභාගී විය හැකි තරග ඉසව් ගණනාවකින් සහ ජන ක්‍රීඩා රැසකින් මෙල්බර්න් බක්මහ උළෙල සමන්විත වුණා.

මෙම උත්සවය නැරඹීමට වෙසෙන ශ්‍රී ලාංකිකයින් මෙන්ම විදෙස් ජාතිකයන් ඇතුලු විශාල පිරිසක් ද එක්ව සිටියා.

මෙල්බන් බක් මහ උළෙල සඳහා මෙවරත් සාඩම්බරයෙන් මාධ්‍ය අනුග්‍රහය ලබා දුන්නේ ඔස්ට්‍රේලියාවේ අංක එකේ ශ්‍රී ලාංකික මාධ්‍ය ජාලය වන Ausලංකා TV, Ausලංකා Radio ප්‍රමුඛ Ausලංකා මාධ්‍ය ජාලයයි.