Search

ශ්‍රී ලංකාවේ දරිද්‍රතාව ගැන ලෝක බැංකුවෙන් වාර්තාවක්

2023 වසරේ ශ්‍රී ලාංකිකයන්ගෙන් සියයට 25.9ක් දරිද්‍රතා රේඛාවට පහළින් ජීවත් වන බවට ලෝක බැංකුවේ නවතම වාර්තාවක් මගින් ඇස්තමේන්තු කර තිබෙනවා.

ඒ අනුව ශ්‍රී ලංකාවේ දරිද්‍රතා අනුපාතිකය අඛණ්ඩව සිව්වන වසරටත් ඉහළ ගොස් ඇති බවයි එමගින් පෙන්වා දී ඇත්තේ.

ලෝක බැංකුවේ දෛනික වියදම් රේඛාව ඩොලර් 3.65ක් වන අතර එම සීමාව සැලකිල්ලට ගනිමින් මෙම වාර්තාව නිකුත් කර ඇති බව සඳහන්.

ක්ෂුද්‍ර, කුඩා සහ මධ්‍යම ප්‍රමාණයේ ව්‍යවසායන් ව්‍යාපාර වසා දැමීම, ඉහළ ගිය උද්ධමනය, ආදායම් අහිමිවීම් සහ රැකියාවෙන් අහිමි වීම හෝ වැටුප් ප්‍රමාණවත් නොවීම වැනි විවිධ පීඩනයන් සමඟ පවුල් ඒකක පොරබදමින් සිටින බව අදාළ වාර්තාවල සඳහන්.

ආහාර අවශ්‍යතා සපුරාලීමට මෙන්ම සෞඛ්‍ය හා අධ්‍යාපනය සඳහා වියදම් පවත්වාගෙන යාමට ණය ගැනීම ද මෙම දරිද්‍රතාවට හේතු වී ඇති බවයි පැවසෙන්නේ.

මේ අනුව ශ්‍රී ලංකාවේ පනස් හත් ලක්ෂ හැත්තෑ හත් දහසකට ආසන්න පිරිසක් දරිද්‍රතාවයෙන් පෙළෙන බව අනාවරණ වී තිබෙනවා.

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ප්‍රකෘතිමත් වීමේ මාවතේ යමින් පැවතුන ද ආර්ථික අර්බුදයේ බලපෑම දුප්පතුන්ට සහ අවදානමට ලක්විය හැකි පුද්ගලයන්ට අවම කිරීම සඳහා පියවර ගැනීම ඉතා වැදගත් බවයි පැවසෙන්නේ.

ලෝක බැංකුවේ වාර්තාවට අනුව ශ්‍රී ලංකාවේ දරිද්‍රතාවය මේ වසරේ සිට අඩුවන බව ද පුරෝකථනය කර තිබෙනවා.

2022 වසරේ දී ශ්‍රී ලංකාව මුහුණදුන් දරුණු ආර්ථික අවපාතය හමුවේ දරිද්‍රතාවය විශාල ලෙස ඉහළ ගොස් තිබූ බවයි ලෝක බැංකු වාර්තා පෙන්වා දෙන්නේ.

එහෙත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ක්‍රියාත්මක කළ නිවැරදි මූල්‍ය ප්‍රතිපත්තිය හේතුවෙන් මේ වන විට ආර්ථිකය සුබදායී දිශාවකට යොමු වෙමින් ඇති බව එහි සඳහන්.