
මෙරට සහන සේවිකාවක් ඇතුලු පිරිසකට මරු කැඳවූ ගුවන් ප්‍රහාරයට අදාළ පරීක්ෂණයක් පිළිබඳ ඊශ්‍රායලයෙන් සුබවාදී ප්‍රතිචාරයක් මෙතෙක් ලැබී නොමැති බව ඔස්ට්‍රේලියා රජය පවසනවා.
මේ සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා ඔස්ට්‍රේලියාවේ විශේෂ උපදේශකයෙකු පත් කිරීමේ අරමුණක් ඇති අතර ඒ පිළිබඳව රජය ඊශ්‍රායලයට ලිඛිතව දැනුම් දීමටයි සැලසුම් කර ඇත්තේ.
ඊශ්‍රායලය මෙම ප්‍රහාරයට අදාළව තම විමර්ශනවල ප්‍රතිඵල ඉදිරිපත් කිරීමට සූදානම් වන බැවින් ඉදිරි දිනවලදී ඔස්ට්‍රේලියානු විශේෂ උපදේශකයා පත් කෙරෙනු ඇති.

මෙල්බන්හි උපන් කාන්තාවක් ඇතුළු සහන සේවකයන් කිහිප දෙනෙකුට මරු කැඳවූ ඊශ්‍රායල ගුවන් ප්‍රහාරය සම්බන්ධයෙන් මේ දක්වා ලැබුණු ප්‍රතිචාරය ප්‍රමාණවත් නොවන බව පවසමිනුයි පූර්ණ පරීක්ෂණයක් සඳහා ඔස්ට්‍රේලියානු රජය විශේෂ උපදේශකයෙකු පත් කරනු ලබන්නේ.
සෝමි ෆ්‍රෑන්ක්කොම් සහ එම කණ්ඩායමේ තවත් හය දෙනෙකුට මරු කැඳවූ ප්‍රහාරය සම්බන්ධයෙන් ඊශ්‍රායලය සිය කඩිනම් විමර්ශනය පිළිබඳව ඔස්ට්‍රේලියාවට තොරතුරු ලබාදී ඇතැයි ද සඳහන්.

සිකුරාදා සවස ඊශ්‍රායල ආරක්ෂක හමුදාව නිවේදනය කළේ, ප්‍රහාරය සම්බන්ධයෙන් නිලධාරීන් දෙදෙනෙකු සේවයෙන් පහ කළ අතර ඔවුන් නීති රීති උල්ලංඝනය කර ඇති බවයි.
ආරක්ෂක අමාත්‍ය රිචඩ් මාර්ල්ස් සහ විදේශ අමාත්‍ය පෙනි වොං තම ඊශ්‍රායල නියෝජිතයන් ලිපියක් යැවීමට සූදානම් වන අතර, ඔස්ට්‍රේලියාවේ අපේක්ෂාවන්ට සරිලන පරිදි පරීක්ෂණ සිදු වන බවට සහතික කිරීම තම උපදේශකයෙකු පත් කිරීමට අදහස් කරන බවයි ඔවුන් දන්වා ඇත්තේ.
එම උපදේශකයා හමුදා සහ මානුෂීය නීතිය පිළිබඳ විශේෂඥ දැනුමක් ඇති අයකු වන අතර ඉදිරි දිනවලදී ඔහු කවුරුන්ද යන්න ප්‍රකාශයට පත් කෙරෙනු ඇති.