
තායිවානයේ සිදු වූ රිච්ටර් මාපකයේ ඒකක 7.2 ක ප්‍රබල භූ කම්පනයකින් පසු සුනාමි අනතුරු ඇගවිමක් නිකුත් කර තිබෙනවා.
තායිවානයේ භූමිකම්පා නිරීක්ෂණ ආයතනය මෙම භූ කම්පනය රික්ටර් මාපකයේ 7.2ක් ලෙස ප්‍රකාශ කළ අතර එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය එසඳහන් කළේ එය රික්ටර් මාපකයේ ඒකක 7.4ක් වන බවයි.
අද උදෑසන ඇති වූ භූ කම්පනයෙන් පසු ගොඩනැගිලි රැසක් ගිලා බැස සහ කඩා වැටී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මූලික භූමිකම්පාවෙන් පැයක් ඇතුළත තායිපේ ප්‍රදේශයට පසු කම්පන කිහිපයක් ද දැනී තිබෙනවා.
පැසිෆික් සුනාමි අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය පැවසුවේ හවායි හෝ එක්සත් ජනපද පැසිෆික් ප්‍රදේශය වන ගුවාම් වෙත සුනාමි තර්ජනයක් නොමැති බවයි.

පෙරවරු 7.58ට හුවාලියන් සිට නිරිත දෙසින් කිලෝමීටර 18ක් පමණ දුරින් ප්‍රදේශයක කිලෝමීටර් 35ක් පමණ ගැඹුරින් හටගෙන ඇතැයි සඳහන්.
තායිවානයේ භූමිකම්පා නිරීක්ෂණ කාර්යාංශයේ ප්‍රධානී ප්‍රකාශ කළේ චීනයේ වෙරළට ඔබ්බෙන් තායිවානයට අයත් දූපතක් වන කින්මෙන් දක්වා භූ කම්පනය දනී ඇති බවයි.
මහල් පහක ගොඩනැගිල්ලක් දැඩි ලෙස හානි වී ඇති අතර, එහි පළමු මහල කඩා වැටී ඉතිරි කොටස අංශක 45ක කෝණයකට ඇලවී ඇතැයි සඳහන්.
තායිපේ අගනුවර පැරණි ගොඩනැගිලිවලින් සහ ඇතැම් නව කාර්යාල සංකීර්ණවට ද දැඩි හානි වී ඇති බවයි වාර්තා වන්නේ.
තායිපේහි උමං දුම්රිය සේවාව මෙන්ම මිලියන 23ක ජනතාවක් සිටින දිවයින පුරා සියල්ලු දුම්රිය සේවා අත්හිටුවා තිබෙනවා.
ජපාන කාලගුණ විද්‍යා ඒජන්සිය පැවසුවේ භූමිකම්පාව ඇති වී මිනිත්තු 15 කට පමණ පසු යොනාගුනි දූපතේ වෙරළ තීරයේ අඩි 1ක් පමණ උසින් යුත් සුනාමි රළක් ඇති වූ බවයි.
ජපානයේ ස්වයං ආරක්ෂක බලකාය ඔකිනාවා කලාපය වටා සුනාමි බලපෑම පිළිබඳ තොරතුරු රැස් කිරීමට ගුවන් යානා යොදවා තිබූ අතර අවශ්‍ය වුවහොත් ජනතාව ඉවත් කිරීමට ද සැලසුම් කර තිබෙනවා.
1999 වසරේ දී විශාල හානියක් සිදු වූ කම්පනයෙන් පසු තායිවානයේ ඇති වූ විශාලතම භූමිකම්පාව ලෙසටයි මෙය සැලකෙන්නේ.