
නෞකාවට යාම ප්‍රමාද වීම හේතුවෙන් ඔස්ට්‍රේලියානුවන් දෙදෙනෙකු ඇතුලු සංචාරකයන් පිරිසක් අත්හැර දමා නෝර්වීජියානු මගී ප්‍රවාහන නෞකාවක් පිටත්ව යාමේ සිදුවීමක් වාර්තා වනවා.
මේ හේතුවෙන් අදාළ පිරිස අප්‍රිකානු දූපත් රාජ්‍යයක් වන සාඕ ටෝම් සහ ප්‍රින්සිපේ හි දින ගණනාවක සිට සිරවී සිටින බවයි වාර්තා වන්නේ.
මෙලෙස ඉතිරි වූ මගීන් අටදෙනා අප්‍රිකාවේ බටහිර වෙරළ තීරය දක්වා ගමන් කරන නෝර්වීජියානු නෞකාව අල්ලා ගැනීමේ අරගලයක නිරත වන බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

නෝර්වීජියානු කෲස් ලයින්හි ප්‍රකාශයකට අනුව ඇමරිකානුවන් හය දෙනෙකු සහ ඔස්ට්‍රේලියානුවන් දෙදෙනෙකු වන මෙම මගීන් මාර්තු 27 වනදා නෞකාවට ආපසු යාමට ප්‍රමාද වූ බව සඳහන්.
නියමිත වේලාව වූ සවස 3ට සියලු දෙනාට යාත්‍රාව වෙත ආපසු යාමට අපොහොසත් වීම හේතුවෙන් නෞකාව පිටත්ව ගොස් ඇත්තේ මෙම පිරිසගේ ගමන් බලපත්‍ර වරායේ බලධාරීන්ට හාර දීමෙන් අනතුරුවයි.

මෙය ඉතා කණගාටුදායක තත්වයක් වුව ද මගීන් නියමිත වේලාවට නැව වෙත ආපසු පැමිණීම අනිවාර්ය බවට දෛනික සන්නිවේදනයේ දී සහ යාත්‍රාවෙන් පිටවීමට පෙර සන්නිවේදන පද්ධතිය හරහා දැනුම් දෙනු ලබන බවයි නෞකා සමාගමේ බලධාරීන් ප්‍රකාශ කර ඇත්තේ.
නෞකාවට නැවත පැමිණෙන්නේ නම් මීළඟ නැවතුම ඇති වරායට පැමිණීම සඳහා වන පිරිවැය ඔවුන් දැරිය යුතු බව ද නෞකා බලධාරීන් ප්‍රකාශ කර තිබෙනවා.
අතරමංවී සිටින කණ්ඩායමේ සාමාජිකයින් කිහිප දෙනෙකු වයස්ගත වන අතර අංශභාග රෝගියෙකු මෙන්ම ගැබිණි කාන්තාවක් ද ඒ අතර වන බව ද සඳහන්.
ඔවුන් පැවසුවේ කණ්ඩායමේ එක් සාමාජිකයෙකු දින පහක් හෘද ඖෂධ ලබා නොගෙන රෝගාතුර වී ඇති බවයි.