Search

බංග්ලාදේශයට එරෙහි දෙවන ටෙස්ට් තරගයේදී ශ්‍රී ලංකාවෙන් වාර්තාවක්

බංග්ලාදේශ කණ්ඩායම සමග පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේ පළමු ඉනිමේදී වාර්තාවක් පිහිටු වීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිම වෙනුවෙන් සියලු දෙනා දැවී ලකුණු 531ක් රැස් කළ අතර මෙය ලෝක ටෙස්ට් ක්‍රිකට් වාර්තා අතරට එක්වුණේ කිසිදු පිතිකරුවෙකු ශතක නොලබා රැස්කළ ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙසටයි.

මීට පෙර එම දස්කම දක්වා තිබුණේ ඉන්දීය කණ්ඩායම වන අතර ඔවුන් 1976 වසරේදී නවසීලන්තයට එරෙහිව ලකුණු 524ක් රැස්කර තිබුණා.

පළමු ඉනිමේදී ශ්‍රී ලංකා පිතිකරුවන් 06 දෙනෙකු අර්ධ ශතක ලබා ගත අතර පළමු ඉනීමේ වැඩිම ලකුණු ලාභියා වූ කුසල් මෙන්ඩිස් ලකුණු 93ක් ලබා ගත්තා.

නිශාන් මධුෂ්ක ලකුණු 57ක්, දිමුත් කරුණාරත්න ලකුණු 86ක්, දිනේෂ් චන්දිමාල් ලකුණු 59ක්, ධනංජය ද සිල්වා ලකුණු 70ක් සහ කමිඳු මෙන්ඩිස් නොදැවී ලකුණු 92ක් වශයෙන් ශ්‍රී ලංකා ලකුණු පුවරුවට එක් කළා.

ශ්‍රී ලංකා ඉනිමේ අවසන් කඩුල්ල ලෙස අසිත ප්‍රනාන්දු දුවද්දී දැවීයාමත් සමඟ සිය තුන්වන ටෙස්ට් ශතකය රැස් කිරීමට තිබූ අවස්ථාව අනෙක් අන්තයේ පන්දුවට පහර දෙමින් සිටි කමිඳු මෙන්ඩිස්ට අවාසනාවන්ත ලෙස අහිමි වුණා.

ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් පිටියේ අඛණ්ඩව ශතක තුනක් හෝ ඊට වඩා රැස් කළ පිතිකරුවන් සිටින අතර අරවින් ද සිල්වා, මහේල ජයවර්ධන සහ කුමාර් සංගක්කාර ද ඒ අතර වනවා.

කෙසේ වෙතත් වසර 10කින් ශ්‍රී ලංකා පිතිකරුවෙකුට සිදුකිරීමට නොහැකිව තිබූ එම දස්කම ලකුණු 08ක් මදිවීම හේතුවෙන් කමිඳුට අහිමිව ගියා.

එමෙන්ම කමිඳුට තවත් එක් ලකුණක් රැස්කිරීමට හැකිවූවා නම් මීට වසර 48කට පාකිස්තානයේ ජාවේඩ් මියැන්ඩාඩ් පිහිටුවා තිබූ ලෝක වාර්තාවක් අභිබවා යාමේ අවස්ථාවක් ද පැවතුණා.

මියැන්ඩාඩ් සැලකෙන්නේ ටෙස්ට් වරම් දිනාගෙන ක්‍රීඩා කර පළමු ඉනිම් 04දීම වැඩිම ලකුණු රැස්කළ පිතිකරුවා ලෙසයි.

කෙසේ නමුත් කමිඳු මේ වනවිට මියැන්ඩා සමගින් සමතැන් ගෙන සිටිනවා.

මහීෂ් තීක්ෂණ ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියට

අයි සී සී නවතම ශ්‍රේණිගත කිරීම්වල එක්දින පන්දු යවන්නන්ගේ දෙවැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණ සමත්ව තිබෙනවා.

Read More »