
ශ්‍රී ලාංකික සම්භවයක් ඇති ආචාර්ය පැට්‍රික් මෙන්ඩිස් ඇමරිකාවේ ජාතික ආරක්ෂක අධ්‍යාපන මණ්ඩලයේ (NSEB) උපදේශකයෙකු ලෙස පත් කර තිබෙනවා.
ධවල මන්දිරයේ මාධ්‍ය නිවේදනයකට අනුව ඔහුගේ පුළුල් රාජ්‍ය සේවය සහ ශාස්ත්‍රීය ජයග්‍රහණ පිළිබඳ වැදගත් පිළිගැනීමක් ලෙස ජනාධිපති ජෝ බයිඩන් විසින් පත් කිරීම සිදු කර ඇති බවයි සඳහන් වන්නේ.
සාමාජිකයින් 14 දෙනෙකුගෙන් යුත් ජාතික ආරක්ෂක අධ්‍යාපන මණ්ඩලයට කැබිනට් ලේකම්වරුන් 8ක් සහ කීර්තිමත් ඇමරිකානු පුරවැසියන් හය දෙනෙකුගෙන් සමන්විතයි.

මණ්ඩලයේ සභාපතිත්වය දරනු ලබන්නේ එක්සත් ජනපද ආරක්ෂක ලේකම්වරයා විසින්.
මෙම පත්වීම ආචාර්ය පැට්‍රික් මෙන්ඩිස්ගේ විශිෂ්ට වෘත්තීය ජීවිතයට පමණක් නොව, විදේශ ප්‍රතිපත්ති, ජාත්‍යන්තර සබඳතා සහ ලොව පුරා උසස් අධ්‍යාපනය කෙරෙහි ජනාධිපතිවරයාගේ බලපෑම පිළිබඳ සාක්ෂියක් ලෙසට සැලකෙනවා.

ආචාර්ය පැට්‍රික් මෙන්ඩිස් යනු ශ්‍රී ලංකාවේ සිට මිනසෝටාහි පර්හැම් දක්වා ගොස් අධ්‍යාපනය ලැබූ අයෙක්.
ඔහු මිනසෝටා හි ගත කළ කාලය තුළ හෙනපින් ප්‍රාන්ත රජය, මිනසෝටා මුදල් දෙපාර්තමේන්තුව සහ මිනසෝටා නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ ද සේවය කර තිබෙනවා.
රාජ්‍යයට ඔහු ලබා දුන් දායකත්වය අගයමින් ආණ්ඩුකාර රූඩි පර්පිච් විසින් ආචාර්ය මෙන්ඩිස්ට මිනසෝටා හි ගෞරවනීය පුරවැසියා යන නාමය ද පිරිනමා තිබුණා.
එමෙන්ම 1990 ගණන්වල මිනසෝටා විශ්ව විද්‍යාලයේ ඉගැන්වූ ආචාර්ය මෙන්ඩිස්, Hubert Humphrey නායකත්ව සම්මානය, UN කටයුතු සඳහා Harold Stassen සම්මානය, විශිෂ්ට නායකත්වය සඳහා Minnesota විශ්ව විද්‍යාලයේ ජනාධිපති සම්මානය සහ Alumnus of Notable Achievement සම්මානයෙන් ද පිදුම් ලැබූ අයෙක්.