
නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ පාසල් කලාප තුළ රථ වාහන වේග සීමාවන් තවදුරටත් අඩු කිරීමට ඇති හැකියාව සම්බන්ධයෙන් අවධානය යොමු වී තිබෙනවා.
පදිකයින්ගේ ආරක්ෂාව පිළිබඳ විගණන ආයතනය නිවේදනය කර ඇති තොරතුරු අනුව පාසල් කලාපයේ වේග සීමාවන් අඩු කළ හැකි බවයි වාර්තා වන්නේ.
සෑම දිනකම නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ සිසුන්ගෙන් සියයට 25ක් පාපැදියෙන් හෝ පා ගමනින් පාසැලට යන බැවින් පාසල් කලාප අසල ආරක්‍ෂිත විකල්ප සොයා බලන ලෙසට ඉල්ලීම් ඉදිරිපත් වී තිබෙනවා.

පාසල් කලාපවල සිදුවන මාර්ග අනතුරුවලට හේතුව රථ වාහනවල අධික වේගය බව පෙනී ගියහොත් පාසල් අවට තවදුරටත් අඩු වේග සීමාවන් ඇතුළත් විය හැකියි.
නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ මාර්ග පිළිබඳ අමාත්‍ය ජෝන් ග්‍රැහැම් සඳහන් කළේ ළමයින් වටිනාම පදිකයින් වන අතර ඔවුන්ට නිවස සහ පාසල අතරට යාමට හැකි ආරක්ෂිතම පරිසරය ස්ථාපිත කිරීම අවශ්‍ය බවයි.

නව වැඩපිළිවෙල යටතේ ප්‍රාන්ත ප්‍රවාහන බලධාරීන්ට පැවරී ඇත්තේ පාසල් කලාපවලට ආසන්නව පිහිටි පාසල් සිසුන් බහුලව භාවිතා කරන කාර්යබහුල මංතීරු සොයා බලා ඒ සම්බන්ධයෙන් වාර්තා කිරීමටයි.
පාසල් කලාපයෙන් පිටතදී මෙන්ම පාසලට යන එන විට ළමයින් අවදානමට ලක්විය හැකි බව අමාත්‍යවරයාගේ කාර්යාලය සඳහන් කර තිබෙනවා.