Search

ප්‍රංශය රටවල් 46කින් ආරක්ෂාව ඉල්ලයි

පැරිස් ඔලිම්පික් උළෙලේ ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් 2000කට වඩා සැපයීම වෙනුවෙන් ප්‍රංශය රටවල් 46 කින් ඉල්ලීම් කර තිබෙනවා.

ප්‍රංශය පවසන්නේ ශතවර්ෂයකට පසු ප්‍රංශ අගනුවර පැවැත්වෙන ප්‍රථම ක්‍රීඩා උළෙල හේතුවෙන් ත්‍රස්ත ප්‍රහාරවලට එරෙහිව දැඩි සෝදිසියෙන් සිටින බවයි.

විදේශීය ආරක්ෂක සහාය සඳහා ඉල්ලීම ජනවාරි මාසයේදී සිදු කරන ලද අතර 2185 කට ආසන්න ආරක්ෂක නිලධාරීන් පිරිසක් අපේක්ෂා කරන බවයි ප්‍රංශ අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය සිකුරාදා ප්‍රකාශ කළේ.

ප්‍රංශයේ ඉල්ලීම වෙනුවෙන් තම රට පැරිස් ක්‍රීඩා උළෙලට සොල්දාදුවන් යවන බව පෝලන්ත ආරක්ෂක අමාත්‍යවරයා සඳහන් කළ අතර පුපුරණ ද්‍රව්‍ය හඳුනා ගැනීම සහ ත්‍රස්තවාදී ක්‍රියාවලට එරෙහිව කටයුතු කිරීම සම්බන්ධ පුහුණුව ලත් නිලධාරීන් ඊට අයත්.

ජුලි 26 වනදා සිට අගෝස්තු 11 දක්වා පැවැත්වෙන ඔලිම්පික් තරඟ සඳහා මිලියන 15ක් පමණ නරඹන්නන් අපේක්ෂා කරනවා.

ඉස්ලාමීය අන්තවාදීන්ගේ ප්‍රහාරවලට ගොදුරු වූ නගරයක තරගාවලිය පැවැත්වීම ක්‍රීඩා සංවිධායකයින්ට ඇති ලොකුම අභියෝගයයි.

මෑතදී රුසියානුවේ ප්‍රසංග ශාලාවකට එල්ල වූ ප්‍රහාරයේ වගකීම අයි එස් සංවිධානය භාර ගැනීමත් සමඟ ප්‍රංශ රජය සිය ආරක්ෂක අනතුරු ඇඟවීම ඉහළම මට්ටමට දක්වා වැඩි කර තිබෙනවා.