නයිජීරියාවේ වයඹ ප්‍රදේශයේ පාසලකින් පැහැරගත් ළමුන් 280කට වැඩි පිරිසක් නිරුපද්‍රිතව නිදහස් කර තිබෙනවා.
කඩුනා ආණ්ඩුකාර උබා සානි පැවසුවේ රටේ ජාතික ආරක්ෂක උපදේශකවරයා විසින් පාසල් සිසුන් නිදහස් කිරීම සම්බන්ධීකරණය කළ ද වැඩිදුර තොරතුරු ලබා නොදුන් බවයි.
වයඹ දිග කඩුනා ප්‍රාන්තයේ කුරිගා ප්‍රදේශයෙන් පසුගිය 7 වනදා ළමුන් 287 දෙනෙකු පැහැරගෙන යාමේ මෙම සිදුවීම වාර්තා වුයේ 2021 වසරේ දී උසස් පාසලකින් සිසුන් 150 කට වැඩි පිරිසක් රැගෙන යාමෙන් පසු වාර්තා වූ දැවැන්තම සමූහ පැහැර ගැනීම ලෙසටයි.
සිසුන් පිරිස අසල්වැසි සැම්ෆාරා (Zamfara) ප්‍රාන්තයේ වනාන්තරයකදී මුදාගෙන ඇති අතර ඔවුන්ගේ පවුල්වලට භාරදීමට පෙර වෛද්‍ය පරීක්ෂණ සඳහා හමුදාව විසින් අගනුවරට රැගෙන ගොස් තිබුණා.
පසුගිය සතියේ, තුවක්කුකරුවන් විසින් පැහැරගත් ළමුන් සහ පාසල් කාර්ය මණ්ඩලය නිදහස් කිරීම සඳහා ඩොලර් මිලියන 1.1ක් ඉල්ලා සිටියා.
කෙසේ වෙතත්, රජය කියා සිටියේ කිසිදු කප්පම් මුදලක් ලබා නොදෙන බවයි.
නයිජීරියානු පාසල්වල පැහැරගැනීම් ප්‍රථමයෙන් සිදු කරනු ලැබුවේ ජිහාඩ් කල්ලියක් වන බොකෝ හරාම් සංවිධානය විසින්.
ඔවුන් ඊසානදිග බෝර්නෝ ප්‍රාන්තයේ චිබොක්හි බාලිකා පාසලකින් සිසුවියන් 276 දෙනෙකු පැහැර ගත් අතර මෙතෙක් නිදහස් කර නැහැ.
කප්පම් ඉල්ලා අපරාධ කල්ලි විසින් සිදු කරන මෙවැනි පැහැර ගැනීම් දෛනික සිදුවීමක් බවට පත්ව ඇති අතර විශේෂයෙන් උතුරු නයිජීරියාවේ, කප්පම් ගෙවා තම ආදරණීයයන් නිදහස් කර ගැනීම සඳහා ඉඩම්, ගවයන් සහ ධාන්‍ය විකිණීමට ඔවුන්ට සිදු වී තිබෙනවා.