Search

ඔස්ට්‍රේලියාවේදී දෙවන රැකියාවක් සොයනවා නම් මේ ගැනත් අවදානය යොමු කරන්න

ජීවන වියදම් අර්බුදය තවදුරටත් පවතින බැවින් මිලියන ගණනක් ඔස්ට්‍රේලියානුවන් දෙවන රැකියාවක් සොයමින් සිටින බව නවතම පර්යේෂණයකින් අනාවරණය වී තිබෙනවා.

ෆයින්ඩර් (Finder) විසින් කරන ලද සමීක්ෂණයකින් පෙන්නුම් කර ඇත්තේ එම සමීක්ෂණයට ප්‍රතිචාර දැක්වූවන්ගෙන් තුනෙන් එකක් පමණ එක් රැකියාවකට වඩා කිරීමට තරම් මූල්‍යමය පීඩනයකට ලක්ව ඇති බවයි.

එවැනි ආතතියකට ලක්ව සිටින පිරිස මිලියන 6.7ක පමණ ජනතාවකට සමාන වන අතර පිරිමින්ට වඩා දෙගුණයක අගයකින් කාන්තාවන්ට දෙවන රැකියාවක් ලබා ගැනීමේ අවශ්‍යතාවය දැනී ඇතැයි සඳහන්.

ෆයින්ඩර්හි මුදල් විශේෂඥ රෙබෙකා පයික් පැවසුවේ ඔස්ට්‍රේලියාවේ තවත් පවුල් රැසක් එදිනෙදා ජීවිතය ගැට ගසා ගැනීමට අරගල කරන බවයි.

පවතින ජීවන වියදම් අර්බුධය හමුවේ බොහෝ දෙනෙකුට දෙවන රැකියාවක් කිරීම හැර වෙනත් විකල්පයක් නොමැති බව ඇය ප්‍රකාශ කළා.

ජීවන වියදම් අර්බුදය හේතුවෙන් බොහෝ දෙනෙකු මූල්‍යමය ගැටලුවලට ලක්ව සිටින අතර ඉහළ යන රක්ෂණ සහ බලශක්ති බිල්පත් ගෙවීමට අපහසු වී ඇති බව ද සඳහන්.

මේ හේතුවෙන් තම මුල්‍ය තත්වය වර්ධනය කර ගැනීම සඳහා වෙනත් විකල්ප ක්‍රම අත්හදා බලන ලෙසට රෙබෙකා පයික් සඳහන් කළ අතර නිවසේ භාවිතා නොකරන උපකරණ කුලියට දීමේ සිට කාමරයක් කුලියට දීම වැනි කටයුතු ,මගින් අමතර මුදලක් උපයා ගැනීමට හැකි බවයි ඇය පෙන්වා දෙන්නේ.

මෝටර් රථ රක්ෂණය, නිවාස ණය, සාප්පු සවාරි යාම සහ වෙනත් වියදම් සංසන්දනය කිරීම තුළින් මෙන්ම ගෘහස්ථ බිල්පත්වලින් විශාල වශයෙන් මුදල් ඉතිරි කර ගත හැකි බව ද ෆයින්ඩර් විශේෂඥ වරිය ප්‍රකාශ කළා.

ලොව පළමු ට්‍රිලියනපතියා ගැන නවතම අනාවරණයක්

ලොව ධනවත් පුද්ගලයින්ගේ වත්කම් සම්බන්ධයෙන් යාවත්කාලීන කරන ලද නවතම වාර්තාවකට අනුව යළිත් ඊලෝන් මස්ක් අංක එකේ ලොව සුපිරි ධනවතා බවට නම් කර තිබෙනවා.

Read More »