Search

ආසියානු සංවර්ධන බැංකුවෙන් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 100ක්

ආසියානු සංවර්ධන බැංකුව විසින් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 100ක ණය මුදලක් අනුමත කර තිබෙනවා.

ආසියානු සංවර්ධන බැංකුව මෙම ණය මුදල අනුමත කර ඇත්තේ ශ්‍රී ලංකාවේ කුඩා හා මධ්‍යම ප්‍රමාණයේ ව්‍යවසායකයන්ට මූල්‍ය පහසුකම් සඳහා වැඩි ප්‍රවේශයක් ලබා දීමට මෙන්ම ආර්ථික අර්බුදය සහ දේශගුණික විපර්යාස වැනි බාහිර බලවේගවලට ඔරොත්තු දීමේ හැකියාව ගොඩනැගීම සඳහායි.

ඒ අනුව මෙම ඩොලර් මිලියන 100 ශ්‍රී ලංකාවේ කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යාවසායකයින් ගේ ප්‍රයෝජනයට යොදාගැනීමට නියමිත බවයි වාර්තා වන්නේ.

කුඩා හා මධ්‍යම ප්‍රමාණයේ ව්‍යවසායකයන් ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරන අතර රටේ දළ දේශීය නිෂ්පාදිතයේ සියයට 52ක දායකත්වයක් සපයනු ලබනවා.

ආසියානු සංවර්ධන බැංකුවේ ජ්‍යෙෂ්ඨ මූල්‍ය අංශයේ විශේෂඥ මනෝහාරි ගුණවර්ධන මහත්මිය සඳහන් කළේ කුඩා හා මධ්‍යම ප්‍රමාණයේ ව්‍යවසායකයන් අතර ජනගහනයෙන් සියයට 45ක් සේවයේ යෙදෙන බවයි.

එබැවින් විශේෂයෙන් කාන්තාවන් විසින් මෙහෙයවන කුඩා ව්‍යවසායන්ට ආර්ථිකයට අංශයේ දායකත්වය පවත්වා ගැනීමට සහ වර්ධනය කිරීමට අවශ්‍ය සහාය ලබා දීම වෙනුවෙන් මෙම මුදල් යොදා ගැනෙනවා.

ප්‍රකාශයක් නිකුත් කරමින් ආසියානු සංවර්ධන බැංකුව පැවසුවේ සහභාගී වන මූල්‍ය ආයතන හරහා අපනයන, සංචාරක, තාක්‍ෂණ, කෘෂිකර්ම සහ නිෂ්පාදන අංශයන්හි සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් සඳහා ඩොලර් මිලියන 50ක ණය මාර්ගයක් විවෘත කරන බවයි.

මෙම ව්‍යාපෘතිය මඟින් කාරක ප්‍රාග්ධනය ලබා දෙන අතර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට මූල්‍ය ප්‍රවේශය වැඩිදියුණු කිරීමට බලාපොරොත්තු වන බව ද සඳහන්.