
පවතින ජීවන වියදම් අර්බුදය හමුවේ ෆෙඩරල් රජය ක්වින්ස්ලන්ඩ් ප්‍රාන්තයේ ජීවන වියදම කෙරෙහි අවධානය යොමු කර තිබෙනවා.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් සහකාර වෙළද අමාත්‍ය ටිම් අයර්ස් (Tim Ayres) පවසන්නේ ක්වින්ස්ලන්ඩ් වැසියන් මුහුණ දෙන ජීවන අර්බුද ප්‍රශ්න කෙරෙහි රජයේ විශේෂ අවධානය යොමුව ඇති බවයි.
විශේෂයෙන් ක්වින්ස්ලන්ඩ් ප්‍රාන්තයේ නිශ්පාදන ධාරිතාව රටේ ආර්ථිකයට යොමු කරගනිමින්, ක්වින්ස්ලන්ඩ්හි නිෂ්පාදන
හැකියාව වර්ධනය කිරීම සම්බන්ධයෙන් ද අවධානය යොමුව තිබෙනවා.

වසර මැද අයවැය පිළිබඳ සැළකිල්ලක් යොමු කරමින් ඇල්බනීස් රජය ක්වින්ස්ලන්ඩ් වැසියන් කෙරෙහි වරප්‍රසාද ලබා දෙනු ඇතැයි ප්‍රාන්ත බලධාරීන් විශ්වාස කරනවා.
මෙම ප්‍රකාශ ලබන ඔක්තෝබර් මස පැවත්වීමට නියමිත ප්‍රාන්ත මැතිවරනයට පෙර ඇල්බනීස් රජය පිළිබද ජනතාවගේ විශ්වාසය වැඩි කරලීමට ලේබර් පක්ෂය කරන මැතිවරණ ප්‍රචාරණයක් බවටයි විපක්ෂය චොදනා කරන්නේ.

මීට ප්‍රතිචාර දක්වමින් අග්‍රාමාත්‍ය ඇන්තනී ඇල්බනීස් සඳහන් කළේ ජීවන වියදම් පීඩනය අවම කිරීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ලැබී ඇති යෝජනා අධ්‍යයනය කරමින් සිටින බවත් ඔස්ට්‍රේලියානුවන්ට උපකාර කිරීමට සුදුසු ක්‍රියාමාර්ග අත්හදා බලමින් සිටින බවයි.