Search

ඔස්ට්‍රේලියාවේ හොඳම තරුණ නිතිඥයන් අතරට ශ්‍රී ලාංකිකයෙකුත්

ඔස්ට්‍රේලියාවේදී හොඳම තරුණ නීතිඥයාට හිමි සම්මාන දෙකක් ශ්‍රී ලාංකික නීතිඥයෙක් වන මනෝජ් ප්‍රනාන්දුට හිමිව තිබෙනවා.

2024 වසරේ “ටස්මේනියාවේ හොඳම තරුණ නීතීඥයා” සම්මානය සහ 2024 වසරේ “සමස්ත ඔස්ට්‍රේලියාවේ ම සංක්‍රමණිකයන් වෙනුවෙන් පෙනී සිටින තරුණ ඔස්ට්‍රේලියානු නීතිවේදියා” ලෙසටයි එම සම්මාන ද්විත්වය හිමි වී ඇත්තේ.

ටස්මේනියාවේ 2024 වසරේ තරුණ නීතීඥයාට හිමි සම්මානය පිරිනමනු ලබන්නේ ටස්මේනියානු නීති වෘත්තියට විශිෂ්ට දායකත්වයක් ලබා දුන් සහ නීතීඥ වෘත්තියට විශිෂ්ට ආදර්ශයක් වන වෘත්තිකයන් වෙනුවෙනුයි.

2024 වසරේ තරුණ ඔස්ට්‍රේලියානු සංක්‍රමණ නීතිවේදියා සම්මානය ඔස්ට්‍රේලියාවේ හෝ ජාත්‍යන්තරව සංක්‍රමණ නීති ක්ෂේත්‍රයේ තරුණ නීතීඥයින්ගේ විශිෂ්ටත්වය ඇගයීමට ලක් කරමින් ලබා දෙනු ලබනවා.

ඔස්ට්‍රේලියාවේ නීති කවුන්සිලය විසින් වාර්ෂිකව මෙම සම්මාන උළෙල පවත්වනු ලබන අතර මෙවර එය සිදු කරනු ලැබුවේ පසුගිය 14 වනදා මෙල්බර්න් හිදීයි.

2017 වසරේදී ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වී ඇති මනෝජ් ප්‍රනාන්දු ටස්මේනියා විශ්ව විද්‍යාලයෙන් නීතිය පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය සම්පූර්ණ කර ඇති අතර 2021 වසරේ මාර්තු මාසයේදී ඕස්ට්‍රේලියානු නීතීඥයෙකු ලෙස වෘත්තිමය කටයුතු ආරම්භ කර තිබෙනවා.

ඔහුගේ විශේෂිත වූ ක්ෂේත්‍ර වන්නේ සංක්‍රමණ නීතිය සහ සාමාන්‍ය නඩු පැවරීම වන අතර ජාත්‍යන්තර සිසුන්ට නොමිලේ සංක්‍රමණ නීති උපදෙස් ලබා දීම සඳහා සංක්‍රමණ නීති සායනයක් ද ඔස්ට්‍රේලියාවේ තරුණ නීති ප්‍රජාව සමඟ ඒකාබද්ධව ආරම්භ කර තිබෙනවා.

එමෙන්ම ටස්මේනියානු ප්‍රජාවට නොමිලේ උපදෙස් ලබා දීමට මනෝජ් ප්‍රනාන්දු හොබාර්ට් ප්‍රජා නීති සේවයේ නීතීඥයෙකු ලෙස ද ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වෙමින් සිටිනවා.