නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ඇතැම් තදාසන්න ප්‍රදේශවල නිවාස කුලී මිල ගණන් සතියකට ඩොලර් 100කින් පමණ අගයකින් පහත වැටී ඇතැයි අනාවරණ වනවා.
කුලී නිවාස අර්බුදය ප්‍රාන්තයේ පදිංචිකරුවන්ට දැඩි බලපෑමක් එල්ල වී ඇති අවස්ථාවක නිවාස ඒකක සඳහා කුලී මිල ගණන්වල විශාලතම වාර්ෂික පහත වැටීමක් පෙන්නුම් කෙරෙන බවයි වාර්තා වන්නේ.
ප්‍රොප්ට්‍රැක් විසින් කරන ලද සමීක්ෂණයක නවතම දත්ත මගින් හෙළි වූයේ ප්‍රාන්තයේ ඇතැම් තදාසන්න ප්‍රදේශවල කුලිය සතියකට ඩොලර් 100කින් විශාල ලෙස පහත වැටී ඇති බවයි.
නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ මධ්‍යම වෙරළ තීරයේ කුලී නිවාස මිල වැඩියෙන්ම පහත වැටී ඇති තදාසන්න ප්‍රදේශය වනවා.
2023 ජනවාරි මාසයේදී සතියකට ඩොලර් 720 ක් වූ එහි මිල ගණන් මෙම වසරේ ජනවාරි මාසයේදී ඩොලර් 620 දක්වා පහත වැටී ඇති බවයි වාර්තා වන්නේ.
නිවසක් සඳහා වූ කුලී මිලෙහි දෙවන විශාලතම පහත වැටීමක් ඇති උපනගරය වූයේ සිඩ්නි හි වයඹ දෙසින් පිහිටි ටෙලෝපියා ප්‍රදේශයයි.
2023 ජනවාරි මාසයේදී සතියකට ඩොලර් 750ක්ව පැවති එහි කුලී මිල ගණන් මෙම වසරේ ජනවාරි මාසය වන විට සතියකට ඩොලර් 650 දක්වා පහත වැටී තිබෙනවා.
කුලී මිලෙහි විශාලතම පහත වැටීමක් ඇති ප්‍රාන්තයේ තදාසන්න ප්‍රදේශය වූයේ Port Macquarie අසල පිහිටි Cathie ප්‍රදේශයේ වන අතර එය 2023 ජනවාරි මාසයේදී ඩොලර් 440 සිට 2024 ජනවාරි මාසයේදී 380 දක්වා පහත වැටි තිබෙනවා.
ඩොමේන්හි නව දත්තවලට අනුව ඔස්ට්‍රේලියාව පුරා, කුලී නිවාස පුරප්පාඩු අනුපාතය සියයට 0.7ක වාර්තාගත අවම මට්ටමකට ද පැමිණ ඇතැයි සඳහන්.
ඇඩිලේඩ් සහ හෝබාර්ට් හැර අනෙකුත් සියලුම අගනගරවල, පුරප්පාඩු අනුපාත 2024 පෙබරවාරි මාසය පුරාවටම අඩු වෙමින් පැවතුණා.