
වලංගු වීසා බලපත්‍ර නොමැතිව මැලේසියාවේ රැඳී සිටිමේ චෝදනා මත ශ්‍රී ලාංකිකයින් ඇතුළු පුද්ගලයින් 158 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ මැලේසියානු ආගමන විගමන දෙපාර්තමේන්තුව එරට මහල් නිවාස සංකීර්ණයක සිදු කළ විශේෂ මෙහෙයුමකදී යි.
අදාළ මෙහෙයුමේදී විදෙස් රටවල සිට පැමිණි පුද්ගලයින් 358 දෙනෙකු පරීක්ෂාවට ලක්කර ඇති අතර ඉන් පුද්ගලයින් 158 දෙනෙකුටම මැලේසියාවේ රැඳී සිටීම සඳහා වලංගු වීසා බලපත්‍ර තිබී නොමැති බව සඳහන්.

මෙම පිරිස අතර ශ්‍රී ලාංකිකයින්ට අමතරව ඉන්දුනීසියාව, නේපාලය, මියන්මාරය, බංග්ලාදේශය, චීනය, පාකිස්තානය සහ වියට්නාමය යන රටවල පුද්ගලයින් සිටින බව හෙළිවී තිබෙනවා.
පිරිමි පුද්ගලයින් 83ක්, කාන්තාවන් 54ක්, පිරිමි ළමයින් 08 දෙනෙකු සහ ගැහුණු ළමයින් තුන් දෙනෙකු සිටි බව මැලේසියානු ආගමන විගමන දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

ඔවුන්ගෙන් වැඩි දෙනෙකු සංචාරක වීසා මත මැලේසියාවට පැමිණ මහල් නිවාස කුලියට ගෙන විවිධ රැකියාවල නිරත වෙමින් සිට ඇති බවයි වාර්තා වන්නේ.
ඇතැම් පිරිස් වසරකට වැඩි කාලයක් මැලේසියාව තුළ නීතිවිරෝධීව රැඳී සිට විවිධ රැකියාවල නිරත වී ඇති බව එරට ආගමන විගමන දෙපාර්තමේන්තුව සිදු කළ විමර්ශනවලින් අනාවරණ වී තිබෙනවා.
නිසි අවසරයකින් තොරව විදේශිකයින් සඳහා රැකියා ලබාදීම සහ ඔවුන්ට නවාතැන් ලබාදීම සම්බන්ධයෙන් ද විමර්ශන සිදු කරන බවයි ආගමන විගමන දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර ඇත්තේ.