Search

ලොව විශාලතම බ්ලූබෙරි ගෙඩිය ඔස්ට්‍රේලියාවෙන්

ඔස්ට්‍රේලියාවේ ගොවිපලකින් ලොව විශාලතම බ්ලූබෙරි ගෙඩිය හමුව තිබෙනවා.

සෙන්ටිමීටර 4කට ආසන්න පළලකින් යුතු වූ මෙම බ්ලූබෙරි ගෙඩියෙහි බර ග්‍රෑම් 20.4ක් බවටයි අනාවරණ වී ඇත්තේ.

සාමාන්‍ය බ්ලූබරි ගෙඩියක විශාලත්වය මෙන් 10 ගුණයක් වූ මෙය වාර්තා අතරට එක් වන්නේ ලොව මෙතෙක් හමු වූ විශාලතම බ්ලු බෙරි ගෙඩිය ලෙසටයි.

බ්ලූබෙරිවල සාමාන්‍ය බර ග්‍රෑම් එකක් සහ ග්‍රෑම් 3.5ක් අතර වනවා.

පසුගිය නොවැම්බර් මාසයේ සිදු කළ අස්වනු නෙලීමකදී එය හමුවී ඇති අතර මීට පෙර එම වාර්තාවට හිමිකම් කියා ඇත්තේ ද බටහිර ඔස්ට්‍රේලියාවෙන් හමුවූ බ්ලූබෙරි ගෙඩියක් වීම විශේෂත්වයක්.

එහි බර සටහන්ව තිබී ඇත්තේ ග්‍රෑම් 16.2ක් ලෙසයි.

විශාල බෙරි සඳහා වූ ඉල්ලීම මත කොස්ටා සමූහය විසින් මෙම බෙරි විශේෂය වගාකර ඇති බව සඳහන්.

මෙම බේරි ගෙඩිය ඔස්ට්‍රේලියාව පුරා විශාලත්වයෙන් යුත් බෙරි සඳහා පවතින පාරිභෝගික ඉල්ලුමට ප්‍රතිචාර වශයෙන් කොස්ටා සමූහය විසින් වැඩි දියුණු කරන ලද නව Eterna ප්‍රභේදයට අයත් වනවා.

මෙම බ්ලූබෙරි ගෙඩිය ගිනස් වාර්තා පොතට එක්වීමට නියමිත අතර එය සංරක්ෂණය කිරීම සදහා යෝජනා ද ඉදිරිපත්ව තිබෙනවා.

රටේ විශාලතම බෙරි නිෂ්පාදකයා ලෙසට සැලකෙන කොස්ටා බෙරීස් පවසන්නේ තම බ්ලූබෙරිවල ගුණාත්මකභාවය සහ ප්‍රමාණය පිළිබඳව පර්යේෂණ අඛණ්ඩව සිදු කරන බවයි.

ඉදිරි වසර දෙක තුළ ඔස්ට්‍රේලියාවේ පාරිභෝගිකයින් වෙත ළඟා වීමේ අරමුණින් තම නිෂ්පාදන පරිමාව වැඩි කිරීමට ආරම්භ කරන බව කොස්ටා සමාගම ප්‍රකාශ කර තිබෙනවා.